විකල්ප මායා

එම හුදකලා සවසද ඔහු පියගැටපෙළ බසින් සිටියේය.  දැකුම්කලු නමුත් පුදුම සහගත නොවූ  චිත්‍රයක් මැවූ තුරු ලතාවන්ගෙන් මායිම්වුනු පටු පාරද,  ඒහා සමාන්තරව දිවෙන පර්යේෂණාගාර පරිචයේ උස් නොවූ ගොඩනැගිලිද, ඔහුට ඔබ්බෙන් පෙනෙන පල්ලමට යොමුවූ ත්‍රිවූ වංගුවෙන් නොපෙනී ගොස් තිබුණි.


විශ්වයේ නොපැහැදිලිවූ දුර්ගයක ඇතිවියහැකි ශක්තීන්  පිලිබඳ පර්යේෂණයක නිරතවෙමින් සිටි ඔහුගේ දින හා මාස අතිශය සංකීර්ණ ගණිත වියවුල් තුල සියල්ලට සාපේක්ෂව ගෙවී යමින් තිබුනි. සෑම දවසක්ම සංකීර්ණ වූ අතර සෑම සවසක්ම  එම සංකීර්ණත්වය ඔහුගෙන් ඒකාකාරීලෙස අවශෝෂණය කරගන්නා  ලදී.  දිගු පියගැට බසින තෙක් වඩාත් සරල මානසික තලයකට පිවිසීම සදහා කෙරුණු අරගලයේ ජයග්‍රහණය මායිමේදී  ඔහු පටු පාරට අවතීර්ණ විය.



තරුණ හා ඍජු ගමන් විලාශයෙන්ද, ආකර්ශනීය දෙනෙතින් පෙනෙන මානය තරණය කරමින්ද ගමන් ඇරඹු ඔහු, මාවතේ  කිසිවෙකු නොමැතිවීම සිතින් මගහැරීය. දැඩි නොවූ සුළං රැල්ලක් උදාර ලෙස හමා ගිය අතර ගස් වලින් ගිලිහුණු කොළ කිහිපයක් මග දෙපස පතිත විනි. ඔහුගේ අවධානය කිසිවක් කෙරෙහි නාභිගත් නොවී තිබුනද පර්යේෂණයේ ශේෂයන් ඔහුගේ සංකීර්ණ මනසින් වියැකී තිබුණිද යන්න කිසිවෙකුටත් අනුමාන කල නොහැකි විය.


කේන්ද්‍රගත් නොවූ සිතුවිලි  සැනෙන් ගොනු කිරීමට සමත්වූ මිනිස් රුවක් ඔබ්බෙන් පෙනෙන වංගුවෙන් හදිසියෙන්  මතුවෙමින් තිබුනි. ඔහු වංගුවට මීටර සියයක පමණ දුරින් ඇවිදිමින් සිටි අතර ඇය ස්ථිරවම වංගුවේ හරි අඩක් පසු කර සිටියාය. ඔබ්බෙන් ඔහු කරා එළඹෙමින් සිටි ඒ රුව, පර්යේෂණාගාර සංකීර්ණයේ යම් අංශයක  ශිෂ්‍යාවක්විය හැකිය  යන ක්ෂණික නිගමනයට ඔහු එළඹුණද කාලීන නොවූ ඇයගේ සපැමිණීම එයට අදාළ සියලුම සිතිවිලි වලට බදා කරන ලදී. ඊලග තත්පරයේදී ඇය කවුරුන් වියහැකිද යන්න එයට ප්‍රමුඛවුත්, අවබෝද කරගත නොහැකි වුත්, තවත් සිතිවිල්ලකට මුවාවූ දෙවැනි මාත්‍රයේ සිතිවිලි ශේෂයක් බවට පත්විය.


තද පැහැ කුඩා මල් වැටුණු සායකින්ද,  මැණික් කටුවට මදක් ඉහලට වෙනතෙක් අත් නැවු කමිසයකින්ද සැරසී සිටි ඇයගේ  අත බැඳී කුඩා ඔරලෝසුව මදක් කවාකාරව පහලට එල්ලාවැටුණු දිගු අතැඟිලි වලට සොඳුරු වූ  මුදු බවක් එක් කර තිබුනි. වඩාත් දිගු නොවූ වරලස ඈ මුදා හැර තිබුණු අතර ඇගේ ගමන් විලාශය ඒ රුවට අත්‍යලංකාර ලාලිත්‍යයක් එක් කළේය.


මේ වනවිට ඔවුනොවුන්  වඩාත් ලංවෙමින් සිටි අතර ඍංගාරාත්මක වටපිටාවක් තුල  ඔහුගේ පෞරුෂය ඇයගේ රුපයටද, ඇයගේ රුපය ඔහුගේ පෞරුෂයටද සෙමින් හා  ප්‍රභලව,  ශබ්දකල නොහැකි භාෂාවකින් ආමන්ත්‍රණය කරමින් තිබුනි. ඔහුගේ දර්ශනපථය  ඈ කේන්ද්‍රකොටගත් වෘතයකට  සීමාවිය. එම අදිසි වෘතය ඇයගේ සංජානනයේ කොටසක් වූ නමුත් ඔහු දෙස නොබැලීමට ඇය ගත් නිරර්ථක හා වෙහෙසකාරී උත්සාහය විසින් ඒ බව ඇයගෙන් වසන්කොට තිබුනි.


වඩා ලංවෙත්ම ඔවුන් දෙදෙනා එකිනෙකා ගැන සිතීම නමැති සාගරයේ පිහිනමින්  සිටි අතර එකිනෙකා දෙස බැලීම නමැති තාවකාලික දුපත් වලට ගොඩවෙමින් සිටියහ. ඒ සෑම ගොඩවැදීමකදීම යම්කිසි තේරුම්ගත නොහැකි  අතිරික්තයක් තුල ඔහු අතරමං වෙන ලදී.  


මදින මද විශාලවන්නා වුත්, වඩාත් සවිස්තරාත්මකවන්නා වුත් එකිනෙකාගේ දර්ශනය  අවට ඇති නිහඩබව හා පාලුවතුල වඩාත් සක්‍රීයලෙස ඉස්මතු වෙමින් පැවතුනි. කිව නොහැකි හැඟුම් සමුදායක  ආරම්භක අංශු මාත්‍රයවූ ඉතිරි මීටර දහය ඔවුනොවුන්ගේ අධ්‍යාත්මයන්ගේ  ගැඹුරු අභ්‍යන්තරයේ සැතපුම් ගණනක දුරට එකිනෙකාගේ  නුපුරුදු රුව ප්‍රක්ෂේපනය කර තිබුණි. ඇයගේ පුළුලුකුල දරුවන් පෝෂණය කිරීමට  සම්භන්ධ ඔහුගේ ජානමය මතකයන් උද්දීපනය කෙරූ අතර ඔහුගෙන් විද්‍යාමානවූ  දැඩි ආත්ම විශ්වාසය ඇයගේ රැකවරණය හා බැදුණු  ජානමය මතකයන් ස්පර්ෂ කළේය.


මේ වනවිට ඇගේ අඩි ශබ්දය ඔහු තුල දැනීමකට වඩා හැගීමක් බවට පරිවර්තනය වී තිබුණි. ඔහු හතිලන හඬ ඇගේ රුධිරයේ දියවන්නට විය. පියවි සිහියේ ඔවුන් දැනසිටි භාගය එකිනෙකා ගැන සිතමින් සිටි බව ඔවුනට පෞද්ගලිකව පසක්වූ විට එම සිහියේ ඔවුන් නොදැන සිටි භාගයද එකිනෙකා වෙත තදින් යොමුවී තිබුනි.


සිතුවිලි හා ක්‍රියාවන් අතර රික්තය අතිමහත් විය. ආගන්තුකයින් දෙදෙනා මේ වනවිට ඔවුනොවුන් දෙස නොබලමින් එකිනෙකා පසුකරමින් සිටි අතර ඔවුන්ගේ ඉරනමේද, අධ්‍යාත්මයේද  ගැඹුරු අභ්‍යන්තරයේදී දැඩිව සිපගනිමින් සිටිනාලදී. තත්පර වේගයෙන් ගෙවී යමින් තිබුණි.


ඔවුන් සෙමෙන් වෙන්වෙමින් සිටි අතර සම්පුර්ණ පර්යේෂණාගාර පරිචය හා සැසදු කල උස් තුරු මුදුන් වලට පහලින් සිටි ඉතා කුඩා තිත් දෙකක් නොව එකක් පමණක් විය. 


.....ඔහු තනිවම ඇවිදිමින් සිටියේය.


දින, සති, මාස ගණනක සංකීර්ණත්වය හා එකාකාරීත්වය තරුණ විද්‍යාඥයාගේ අති සංකීර්ණ හා දියුණු මනසේ සියුම් උමතු මානසික මායාවක් කෙටි තත්පර කිහිපයක් තුල මැවූ  බව ඔහු කිසි දිනෙක නොදත්තේ ඇයවද ඔහු නැවත කිසිදිනක මුණනොගැසුණු සේමය.



ලියා එව්වේ - සුරේන් සරත්කුමාර


14 comments:

  1. ශක්තිමත් කතාවක්!

    ReplyDelete
  2. Amuthu aaraka giya lassana kathawak.

    ReplyDelete
  3. ජි‍විතෙන් එක ම එක මොහොතක්!! කතාව හොඳයි

    ReplyDelete
  4. මේ කතාව කියවද්දි අර කාටත් නොතේරුන කතාව "මෝබියස් Philosophy ය": කතාවත් මතකයට ආවා....

    එකම ආරක ලියවෙන කතා දෙකක්.

    ReplyDelete
  5. වත් කියන එක හරි. ඒත් මේක නං මට තේරුනා...... හි හි.... ඒ පුද්ගලයාගේ මනෝ භාවය මැනවින් නිරූපණය වෙනවා කියලා හිතෙනවා.

    ReplyDelete
  6. "දින, සති, මාස ගණනක සංකීර්ණත්වය හා එකාකාරීත්වය තරුණ විද්‍යාඥයාගේ අති සංකීර්ණ හා දියුණු මනසේ සියුම් උමතු මානසික මායාවක් කෙටි තත්පර කිහිපයක් තුල මැවූ බව ඔහු කිසි දිනෙක නොදත්තේ ඇයවද ඔහු නැවත කිසිදිනක මුණනොගැසුණු සේමය."
    මේ ටික නැතුව වෙච්චි දේ වෙන විදිහකට පැහැදිලි කරලා තිබුනනම්..අර මායාව කියන වචනෙ කතාවට දාලා තියන එකෙන් කතාවෙ රසය අඩුවෙනවා :/ ඒක වක්‍ර විදියකට කියලා තිබුනනම්..සුපිරි කතාවක් වෙනවා

    ReplyDelete
  7. අන්තිම ඡේදය මේක විනාශ කරල.
    '.....ඔහු තනිවම ඇවිදිමින් සිටියේය.'
    කියන තැනින් කතාව ඉවරවුනානම් කියල හිතුනා.

    ReplyDelete
  8. මේකත් එක අතකින් විකාර කතාවක්. සාමාන්‍ය මනුස්සයෙක් ගැන කියනව කියලත් හිතෙනවා වෙලාවකට.

    ReplyDelete
  9. කණගාටුවට කරුණකි. ඉතාමත් හදිසි අවශ්‍යතාවක් උදෙසා මා හට නගරයෙන් පිටත යෑමට සිදුව ඇත. ඔන්ලයින් වීම අපහසුවනු ඇත. ඔබගේ කථාවට මගේ කොමෙන්ටුව ලබා දීමට නොහැකි වී පිළිබඳව කණගාටුයි.

    ඔබට ජය!

    ReplyDelete
  10. සාමාන්‍ය සිද්දියක් .ඒත් හිත වැඩ කරන හැටි සියුම් විදියට කියල තියන හැටි හොඳයි. place එක අනුව මේ language එක match වෙනවායි හිතෙනව.
    Dilini. N.

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්