මෝබියස් Philosophy ය

පුංචි කාලේ හැමෝම මගෙන් අහනකොට මම කවුරු වෙන්නද කැමති කියලා, මට මතකයි මම කියනවා 'කුරුල්ලෙක් වෙන්න' කියලා. මම ඒ කාලෙත් හිතුවේ නිදහසේ හුළ‍ඟේ පාවෙලා යනකොට දැනෙන සන්තුෂ්ටිය, මුළු ලෝකයේම අසීමාන්තික නිදහස විඳින්න තියෙනවා නම් වෙන මොකුත් ඕන නැහැ කියලා. ඒ කියන්නේ තවත් විලෝපික සැරිසරන්නෙක්ගේ ආහාරවේල වීමේ අවදානම් වුනත් ගන්න බැරිකමක් නැහැ කියලා.
ඒත් ඒ හැඟීම මේ තරමට, මේ තරමටම උත්කර්ෂවත් කියලා මට කවදාවත් හිතිලා තිබුනේ නැහැ. කොහොම වුනත් මම මීට කලින් පියඹලා නැහැනේ...

විශ්වාස කරන්න, මේක චින්ත වේගයන් අවුස්සන සුළු අත්දැකීමක්. මේ තමයි කෙනෙක්ගේ සංවේදනාවන් අතිශයින්ම, උපරිමයටම තියුණු වෙන මොහොත. හරියට නියමම සංඛ්‍යාතයට සුසර කල සරසුලක් වගේ, සමස්ත විශ්වයම තමන් සමඟින් නින්නාද වෙනව කියලා දැනෙන්න පටන් ගන්නවා. ඉහළාකාශයේ හාත්පස පැතිරුනු අනේකවිධ වර්ණයන්, කුළුගැන්වුනු හැඟීම්  බවට පත්වෙන්න පටන් ගන්නවා. සමස්ත ලෝක ධාතුවම සමඟින් ඒකාත්මික වෙන බවක් දැනෙනවා. ජිවිතයේ ස්ඵන්දනයන්... මායාවී වින්දනයන්... තවදුරටත් එතැන ඔබවත් මමවත් නැහැ කියලා අවසානයේ දැනෙනවා...

ඇත්තම කථාව, මම මෙතන ඉන්න විදියක් නැහැ. න්‍යායිකව පැහැදිලි කරනවා නම් ඔබ මෙය කියවන විට මගේ මරණය සිදුවී අවසන්. අවසානයේ සැබෑ පාඨකයා බිහිවෙන්නේ ලේඛකයාගේ සාහිත්‍යමය මරණය තුළින්. කවුද ඇත්තටම මේ තේරුමක් නැති වැල්වටාරම ලියන්නේ? කියවන ඔබද නැත්නම් ඔබව කියවන මමද? දැන් තවත් චින්තන ගැටළුවක් පැන නඟිනවා. ඒ සමහරවිට අධි චිත්තවේගී මත්ද්‍රව්‍යයකටත් වඩා සාර්ථකව ඔළුව ‍තෝන්තු කරවමින් මා වටකර හමායන දැඩි හුළඟ නිසා වෙන්නත් පිළිවන්.ඇත්තටම මම, නිදහසේ වා‍රැළි විඳිමින් පියා හඹන කුරුල්ලෙක් කියලා මනෝභ්‍රමික, psychedelic අත්දැකීමක හිරවෙලා ඉන්න 'මමද', නැත්නම් මම කියලා මායාවී සිහිනයක අතරමං වෙලා ඉන්න නන්නත්තාර වුනු කුරුල්ලෙක්ද...  හැමවිටකම විරුද්ධාභාසයන් කියන්නේ ජීවිතේටම බැඳුනු, හුස්ම හිරකරවන සුළු, ත්‍රාසයක්...

ඈව මම මුලින්ම හඟින්න පටන් ගත්තේ වර්ණ අනුසාරයෙන්. ඇගේ ඇස්වල හැමදාමත් පිරිලා ඉතිරිලා තිබුනේ ජීවිතය. මුලින්ම ඇයව දකිනකොට මට දැනුනේ ගැඹුරු නිල්පාට හැඟීමක්. ඒ සාගර නිල, නිල්වන් හැඟීම, ඕනම වර්ණාවලියකට ඊර්ෂියා හිතෙන තරම් සුන්දර, අනේකවිධ වර්ණ සම්මිශ්‍රණයක දියවී ගිය හැඟීම් සමුදායක් වෙන්න ඒ හැටි කාලයක් ගියේ නැහැ. කොහොමවුනත් ඒක හරිම උත්ප්‍රාසාත්මක අත්දැකීමක්. උත්ප්‍රාසය තමයි ඇය කවදාවත් වර්ණ විශ්වාස කලේ නැහැ. මට කවදාවත් පුළුවන් වුනේ නැහැ ඇය ඉදිරිපිටදී "ජීවිතය වර්ණවලින් පිරුණු බහුරූපේක්ෂ රටාවකට' සම කරන්න...

ඇත්තම ඇත්ත තමයි මට මේ මොහොතේදී ඇයව මතක් කරන්න ඕන වුනේ නැහැයි කියන එක. මම කෙටි ජීවිත කාලයක් ඇතුලේ ගතකල අසීමිත අවුරුදු ගණන ඇතුලේ, ජීවිත කාලයකට ඇතිවෙන්න ඇයව මතක් කරලා තියෙනවා... සමහරවිට මේක ඔබේ වැඩක් වෙන්න පුළුවන්. තත්පරයකට මගේ ඇස් වහලා, ඔබේ ආශාව නිසාම ඇයව මතක කලේ ඔබ වෙන්න පුළුවන්. කොහේවත් තියෙන කෙටි කරපු වැල්වටාරම් කතාවක් මැද්දට ආදරණීය 'ඇයව' ඇදලා ගන්න හදන්නේ ඔබේ නොතිත් ආශාව වෙන්න පුළුවන්...

මේ ඔබටත් මටත් මුළු ජීවිත කාලයකටම එකම එක්වරක් විඳින්න ලැබෙන විශ්වීය නිශ්චලතාවයේ හැඟීම. දුම්රියේ හෙණ හඬ දැන් ඇහෙන්නේම නැතිතරම්. දුම්රියේ පා පුවරුවේ යන්තමින් අඩමානයට තියාගෙන හිටි පය ටිකෙක් ටික ලිස්සලා යනවා නොදැනුනු තරම්...  චිත්ත වීර්‍යයෙන් මේ තරම් වෙලාවක් රඳවාගෙන හිටි සුරත් ග්‍රහණය මඳින් මඳ ලිහිල් වෙනවා නොදැනුනු තරම්... විශ්වාස කරන්න, මේ දැනෙන්නේ පුදුමාකර ශාන්ත, නිදහස් හැඟීමක්. අමාරුවෙන් ජීවිතයට එල්ලීගෙන සිටිනවාට වඩා නිදහස් වා‍රැළි සමඟින් මේ දැනෙන්නේ අසීමිත නිදහසක හර්ෂයක්...

පුංචිම පුංචි කාලේ කුරුල්ලෙක් වෙන්න ආසයි කියපු මම පියඹනවා. වළාකුළු වියන යටින්, සුරඟනුන් සැරිසරනවා කියන නීලාකාශයට යටින්, අසීමිත ප්‍රහර්ෂයක් විඳිමින්... මේ තමයි ඕනම ජීවිතයක උත්කර්ෂය සනි‍ටුහන් කරන මොහොත, Climax එක. හොඳයි එහෙමනම් කථාව වියමන් කිරීම ඔබට භාරයි... මේ තමයි කථාවේ පටන්ගැන්ම....


ලියා එව්වේ - පැතුම් පුංචිහේවා
http://hippiesjournal.blogspot.com/

18 comments:

  1. Meka nam mata melo deyak therune netha. Patta padiri ela betta kiya kiyanna nam puluwan....... Hebei Therune nam netha.

    ReplyDelete
  2. මම හිතන්නේ නොතේරෙන්නෙ හේතුව රචකයා අතින් කතාවේ සෙටප් එක නිර්මාණය වී නොතිබීම...

    ReplyDelete
  3. නොතේරේ

    ReplyDelete
  4. කථානායකය අන්තිමට මැරිල ද?

    ReplyDelete
  5. මේ කතාව ලස්සනයි. ඒත් කලබලෙන් ලියලා විත්තිය පේනවා. කියන්න ඕනි ඔක්කම හරිම තකහනියෙන් කියලා.... මරණයේ සුන්දරත්වය විදින්න කැමැති කෙනෙක්ගෙ කතාවක් වගේ...

    තරුවක් දෙන්නම් *

    ReplyDelete
  6. හලේ මට නොතේරේනේ. හැබැයි කවුරු හරි ලියපු කෙනා අමුතු විදිහට හිතන කෙනෙක් කියලා හිතෙනවා

    ReplyDelete
  7. බොහොම ලස්සන අදහසක් වැඩිපුර මුවහත් වෙන්න කලියෙන් එලියට දාල වගේ හැඟීමක් ඇතිවුනා...

    හ්ම්ම්ම්..... ඒත්...

    ReplyDelete
  8. Excellent choice of words.. nicely woven. Super like this..

    ReplyDelete
  9. හ්ම්ම්ම් කෙටි කතාවක්ම තමා...කතාව ඉවර වෙනකොට හිතුනෙ "සික් මේක තව ටිකක් දික් උනානම්.." කියලා..කොච්චර දිග උනත් මේ වගේ එකක් කියවන්න කම්මැලි හිතෙන්නෙ නෑ +1

    ReplyDelete
  10. පාවුලෝ කොයියොගේ ඇල්කෙමිස්ට් එකේ චේදයක් වගේ දැනුනා . ..
    ලස්සනයි ඒත් මොකද්දෝ මන්දා අඩුපාඩුවක් දැනුනා . . .

    ReplyDelete
  11. මේක කෙටිකතාවක් ද?

    ReplyDelete
  12. දැන් හරියටම වෙලා තියෙන්නෙ මොකකද?

    ReplyDelete
  13. මේක ෆුල් බූතනෙ අප්පා. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ

    ReplyDelete
  14. කණගාටුවට කරුණකි. ඉතාමත් හදිසි අවශ්‍යතාවක් උදෙසා මා හට නගරයෙන් පිටත යෑමට සිදුව ඇත. ඔන්ලයින් වීම අපහසුවනු ඇත. ඔබගේ කථාවට මගේ කොමෙන්ටුව ලබා දීමට නොහැකි වී පිළිබඳව කණගාටුයි.

    ඔබට ජය!

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්