බොරු රත්තරන්......................

'අක්කර හය ම බදු ගන්නව නම් තව දොළහක් වත් ඕනේ... අතේ තියෙන ලක්ෂ තුනයි, අම්මගෙනුත් කීයක්වත් ඉල්ලගන්න පුළුවන් ලක්ෂ අටක් හොයා ගන්න පුළුවන් නම් හරි...'
බන්දුල, දෙදෙනා බෝතලයෙන් අඩක් පමණ අවසන් කරද්දී කීවේය.
'ඒක එච්චර අමාරු වෙන්නෑ... බැංකුවෙ මැනේජර් මං හොඳට අඳුරනවා... මම ඒක කරලා දෙන්නම්..'
බන්දුල, ආනන්ද ගැන දැන සිටියද ළඟින් ආශ්‍රහ කර තිබුණේ නැත. තමන්ගේ ඉඩමට යාබදව ඇති කුඹුරු අක්කර පහ අවුරුදු පහකට බදු ගැනීමට මුදල් සොයමින් සිටිද්දී එයට උදව්වක් දීමට හැකියාවක් ඇති පුද්ගලයකු ලෙස හඳුනාගන්නට ලැබුණේ වෙනත් මිතුරෙකුගෙනි.
ඔවුන් ගෙදර  ඉස්තෝප්පුවට නගින පඩිපෙළ වම් පැත්තේ කුඩා මේසයේ තබාගෙන අරක්කු බෝතලයක් බොමින් සිටියහ. මේසය මත මිරිස් හා ළූණු දමා පිසින ලද ඔම්ලට් එකක භාගයක් ද, සිගරට් පහක් දැමූ ඊයම් කොළයක් රහිත සිගරට් පැකට්ටුවක් ද ප්ලාස්ටික් සෝඩා බෝතලයක් ද තිබුණි.
බන්දුලගේ බිරිඳ ඉස්තෝප්පුවට ඇතුළු කාමරයේ පුටුවක වාඩි වී පුවත්පතක් කියවීමට උත්සාහ කළ ද ඇයගේ අවධානය තිබුණේ ඉස්තෝප්පුවේ වන කතාබහටය. තරමක් තද පැහැ සිරුරකින් යුතු නිමාලි සිනහව පිරුණු පියකරු කාන්තාවකි. ඇය පස් මසක ගැබිණියක් වුව ද එයින් ඇයගේ සිරුරෙහි ලොකු වෙනසක් සිදුව තිබුණේ නැත.
බන්දුල ගේ ඇතුළට පැමිණ ඇයට කාමරයට කතා කළේය.
'මෙයාට නම් වැඩේ කර ගන්න පුළුවන් වෙයි වගේ... තව බිත්තර ඔම්ලට් එකක් දානවද..'
"ඔම්ලට් එකක් නම් දාන්න පුළුවන්... ඒ උනාට මට මිනිහා කියන ඒවා නම් විශ්වාස නෑ... මට හිතෙන්නෙ බොරුකාරයෙක් වගේ. "
පසුදින බැංකුවට ගිය බන්දුලට තම බිරිඳ දුන් අවවාදය සිහි විය. ටික වේලාවක් ලිපිකරුවකු සමග සාකච්ඡා කළ ආනන්ද ඉඩම් බලපත්‍ර ඉඩමක් හෙයින් ණයක් ලබා ගැනීමට නොහැකි නිසා දෙදෙනා ආපසු පැමිණියහ.
"මගේ ළඟ මාමට ලැබුණු නිධානයක තිබුණ හදපු බොරු රත්තරං කාසි මුට්ටියක් තියෙනවා.. මේක නිධානයකින් හම්බ උන රත්තරං කියලා කොළඹ පැත්තෙ දෙන්න පුළුවන්.. ගාණක් තියාගෙන. .. මම මේක කරන්න ගියොත් ටවුමෙ බ්‍රෝකර්ලා මං ගැන දන්න නිසා කරන්න අමාරුයි..."
නගරයේ බ්‍රෝකර්වරයෙකු‍ මාර්ගයෙන් රත්තරං කාසි හැත්තෑ පහක් ලක්ෂ තිහක මුදලකට අලෙවි කෙරිණ. සම්පූර්ණ ගණුදෙනුවට ම බන්දුල යොදා ගැනින.
"බන්දුල එක්ක පහුගිය කාලෙ නිතරම ඇවිද්ද පල්ලෙහා යායෙ ආනන්ද අන්න ඊයෙ රෑ මෝටර් බයිසිකලේ යද්දි කෝච්චියට යටවෙලා මැරිලා. .. සමහරු කියනවා මරණෙ සැකයි කියලා.."
බන්දුල උදේ පාන් ගැනීමට හන්දියේ කඩේට ගිය විට කඩේ මුදලාලි ඔහුට කීවේය.
ප්‍රදේශයේ බලවත් දේශපාලඥයෙකු පැමිණ මෙම රත්තරං මිල දී ගත් බව ද ඔහුගේ ගෝලයන් කිහිප වතාවක් ආනන්ද සොයා පැමිණි බවත් ආරංචි වී ආනන්ද ගමෙන් අතුරුදහන් විය.
පවුලේ අය ඔහු සොයා ගැනීමට කොතරම් උත්සාහ ගත්ත ද ඵලක් වූයේ නැත. නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු බන්දුල ගැන දින දෙකක් විපරම් කළ බවට ආරංචියෙන් බිරිඳ සහ දෙමව්පියන් තවත් කලබලයට පත් විය.
          ආනන්දගේ මරණය සහ බන්දුල අතර සම්බන්ධයක් ඇතැයි ගමේ කටකතාවක් පැතිරිණි. දිනක රාත්‍රියේ නිවසින් පිටතට පැමිණි නිමාලි හොල්මනකට බියට පත්ව උණ ගැනිණ. උණ උග්‍රවූ හෙයින්, ඇය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළත් දින දෙකකින් අවසන් හුස්ම හෙලුවාය.
ඇයගේ අවමංගල කටයුතු සඳහා බන්දුල පැමිණියේ බොරු රත්තරන් මිල දී ගත් පුද්ගලයන් තමා කළ බොරුව නිසා උරණ වී තමා මරන්නට පැමිණිය හොත් ඔවුන් මරාගෙන මැරෙන්නට සිත දැඩි කරගෙනය.
අවමංගල්‍ය දා රෑ ඇමතිතුමා තවත් කිහිපදෙනෙකු සමග ආනන්දගේ නිවසට පැමිණියේය. ආනන්ද ද උල් පිහියක් කෙණ්ඩයේ ගැටගසාගෙන ඕනෑම දෙයකට ලෑස්ති වී ඇමතිතුමා ළඟට ගියේය.
'අපි එදා කරපු ගනුදෙනුවෙන් මට හිතුවට වැඩිය ලාභයක් ලැබුණා... මම තමුසෙව හෙව්වා. තව ගාණක් දෙන්න කියලා... කොහෙද  ඒක කර ගන්න බැරි වුනා. .. ඊට පස්සෙ මට කොළඹ යන්න වුනා."
ඔහුගේ සගයකු ඔහුට දුඹුරු පැහැති මල්ලක් දුන්නේය.
"මේන් මෙතන ලක්ෂ දෙකක් තියෙනවා... මේක මගෙ ගානෙ.. මොකද කොළඹ දී ඒ රත්තරං කාසි හොඳම රත්තරං කිලා ලොකු ගාණක් හම්බ වුණා..."
බන්දුලට අවසාන කොටස ඇසුනේ නැත. ඔහු මුදල් ගන්නට අත දිගු කළේත් නැත. ඔහු ආපසු හැරී  අඳුරේම තම නිවස වෙත ගමන් කළේය.


ලියා එව්වේ - ලක්ෂ්මන් ඉලංගකෝන්

9 comments:

  1. සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙයි.

    ReplyDelete
  2. නරකම නෑ..

    ReplyDelete
  3. Plot eka hondai. Hebei magadi Aanandai Bandulai nam deka maru wela neda samahara then waladi.

    ReplyDelete
  4. මට නං හිතෙන්නේ නම් මාරු වුණේ නෑ කියලා. කතාව හොඳයි..

    ReplyDelete
  5. ගුප්තබව වැඩිකළානම් තවත් අගෙයි. කවුරුත් කතා ලියල තියෙන්නෙ ඉතාම හදිස්සියට කියල ඇයි මට හිතෙන්නේ.

    ReplyDelete
  6. නම් මාරුව නේද? මටත් වෙලාවකට එහෙම හිතුනා. ආයේ එහෙම නෑවත්ද කියලා හිතුනා. තීම් එක හොඳයි.

    ReplyDelete
  7. තව ටිකක් බර කරලා වදින්න ලියන්න තිබ්බා

    ReplyDelete
  8. මහම හදිස්සියකින් ලියපු කතාවක්....................................

    ReplyDelete
  9. ‍කථා තේමාව වශයෙන් ගතහොත් යම් පමණකට හොඳ මට්ටමේ පවතින බව පැවසිය හැකිය. එනමුදු ගලායෑමේ ස්වභාවය තුල කථාව අතරමං වෙන ලකුණු පෙන්නුම් කරයි.

    සැබවින්ම කථාකරු පණිවුඩයක් දීමට උත්සහ දරණු පෙනෙන ‍නිසාවෙන් මෙසේ සටහන් කරමි. ඔබ මෙහිදී උත්සහ දරන්නේ මිත්‍යාව ගැන පවසන්නද, ධන ලෝභයෙන් අඳ වීම නුසුදුසු බව පවසන්නද, මෝහයෙන් වැසුනු දෑස් නිසා වරදට පෙළඹුනු මිනිසෙකු ගැන පවසන්නද යන්න පැහැදිලි නැත. එහෙත් සිත් ගත් තැනක් හුවා දැක්වීමට කැමැත්තෙමි.

    මෙහි එක් තැනක ගැබිණි බිරිඳ ලවා ඔම්ලට් සාදවා ගන්නට හදන සැමියා ගැන කියැවෙයි. අප සමාජයේ සාමාන්‍යයෙන් එවැනි දේ සිදු නොවේ.ධන ලෝභයෙන් අඳ වුනු මිනිසාට ඒ බවද අමතක වුනු බව ලියුම්කරු පවසන සෙයක් මට හැඟේ.

    කෙසේ හෝ විවිධාකාර අර්ථ දෙක තුනක් ‍කථනයට යාමෙන් වඩා හොඳ තේමාවක් ගලාගෙන යන ආකාරයට ගොඩ නගා ගැනීමට අපහසු වූ බවක් සිතේ. එහෙත් හෙට දවසේ උපදින වඩා හොඳ කෙටි කථාකරුවගේ ලක්ෂණ ද විද්‍යාමානිතය.

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්