“අනේ මගේ අම්මේ”
මේ වචන කිහිපයවත් මුවින් පිටකර ගැනීමට තරම් ශක්තියක් නොතිබුණු එවලෙහි ද මට ඔවුන් තිදෙනා සිහිපත් විය. කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා ප්‍රසව වේදනාවෙන් කෑ මොර දෙමින් සිටි මා විරාමයක සිහිසුන් වීමකින් දෑස් විවර කරන විට වෛද්‍ය රුවන්ත,
“ඔන්න අම්මගේ හුරතල් කෙළි පැටික්කී”
යැයි පවසමින් මගේ කුලුඳුල් සිඟිති දියණිය මා වෙත පෑවේය. මේ මොහොතේ මා හා එක කුස උපන් නැන්දාගේ දෙවන දියණිය වෛද්‍ය නිම්සරා මගේ හිස අතගාමින්,
“දැන් ඔක්කොම හරිනේ අක්කේ” යැයි ඉතා කරුණාවෙන් පැවසුවාය.
මගේ සිඟිති දියණිය, මෙතෙක් විඳි සියලු වේදනාවන් අමතක කරවමින් මා ලය මත රැඳි අපූරු වස්තුව, එවේලේ හදවත ඈ වෙනුවෙන් උපන් අසීමිත ආදරයෙන් පිරී ඉතිරෙන්නට විය. එය කිසිදිනක කිසිවකුට කියා විස්තර කල හැකි හැඟීමක් නොවේ. නැවතත් මට ඔවුන් තිදෙනා සිහි විය.
“මේ බලන්න මේ චූටි පැට්ටගේ කම්මුලෙත් ආච්චි අම්මගේ වගේම පුංචි උපන් ලපයක්..”
අම්මා ඉතා ආදරෙන් සිඟිති දියණියගේ කම්මුලට අත පොවමින් පැවසූ වේලේ ඇගේ ඇස්වලින් ගිලිහුනු පුංචි කඳුලුක් ඉතා බරට මගේ බාහුව මත පතිත විය.
ඇසිල්ලකින් මගේ මනස අතීතය වෙත දිව ගියේය.
සෙනසුරාදා උදේම නාගත් මම තේ බඳුනත් රැගෙන අප නිවසෙහි මාගේ ප්‍රියතම ස්ථානය වූ පොත්ගුල වෙත ඇදුනෙමි. හිමිදිරි පාන්දරම අම්මා, අප්පච්චි හා අයියා නගරයට ගිය බැවින් නිවසේ පැවතියේ පාලු නිස්කලංක පරිසරයකි. ප්‍රබෝධවත් මනසින් යුතුව පොත්ගුලෙහි දොර ඇරි මා නෙත එක්වරම ගැටුනේ අම්මා හා අප්පච්චී විසින් සිය අත්‍යාවශ්‍ය , වැදගත් රාජකාරී ලිපි ලේඛන බහාලන පොත්ගුලෙහි වූ මේසයේ ඉහලම ලාච්චුව විවරව තිබීමයි. නිතර අගුලු ලා පවතින මෙම ලාච්චුව ඉඳහිට ඇර බලා එහි වූ කිසියම් දෙයක් ඉවතට ගෙන බලමින් අම්මා රහසින් වැලපෙනු මම කිහිපවිටක්ම දැක ඇත්තෙමි. එබැවින් කලක පටන්ම මෙම ලාච්චුව ඇර බැලීමට මා සිතේ සැඟව පැවතුණු ආශාව මෙවලෙහි වහාම එලියට පැන්නේය.
ලාච්චුව විවර කල මා ඒ තුල වූ ලිපිගොණු කවර එකින් එක එලියට ගැනීමේදී එක් කවරයක් තුලින් ඡායාරූපයක් හදිසියේ බිමට ගිලිහිණි. කිරිකැටියෙකු දෝතින් දරාගෙන එම ඡායාරූපයේ පෙනී සිටියේ මීට අවුරුදු ගණනකට පෙර ඕස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකින් මියගිය මගේ ලොකු අම්මා හා මහප්පාය. ඡායාරූපයේ පෙනී සිටි ලොකු අම්මාගේ කම්මුලේ පැවති උපන් ලපය ඇගේ සුන්දරත්වය තීව්ර කිරීමට ලද ත්‍යාගයක් බව මට එවලෙහි සිතිණි. ලොකු අම්මාගේ සහ මහප්පාගේ ආදාහන කටයුතු සදහා අයියාත් මාත් සමග ඕස්ට්‍රේලියාව බලාගිය විස්තරය අම්මා මින්පෙර මා සමඟ පවසා තිබුණි. ඡායාරූපය පසෙක තැබූ මා අනෙකුත් ලියවිලි පිරික්සන්නට වීමි.
දෑස් අරින විට මා සිටියේ කාමරයේ ඇඳ මතය. මා පසෙකින් අම්මාත්, අප්පච්චීත්, අයියාත්, නැන්දා හා මාමාත් සිටගෙන සිටියේය.
අම්මා...
නැන්දා...
පුංචි අම්මා...
ඇයි අම්මේ මට විතරක් මෙහෙම වුනේ?
ඇයි මට විතරක් අම්මලා තුන්දෙනෙක් ??
ඉතා සෙනෙහසින් මා දෙපසින් හිඳ හිස පිරිමදිමින් අම්මා හා නැන්දා මගේ ජීවිත කථාවේ ඇරඹුම කඳුලු අතරින් මෙලෙස දිග ඇරියේය........
බොහෝ කාලයක් දරුවන් බලාපොරොත්තුවෙන් නොයෙකුත් වෛද්‍ය ප්රතිකාරකල මගේ ජන්මාණු වලට හිමිකම් කියන මගේ අම්මා අවසානයේදී නල දරු උපතක් සඳහා සූදානම් විය. නමුත් ඇගේ ගර්භාෂය කළලයක් රෝපිත කිරීමට නුසුදුසු යයි වෛද්‍යවරුන් තීරණය කල බැවින් ඇයට මව් පදවිය තිලිණ කිරීමට සිය කුස පරිත්‍යාග කිරීමට අම්මාගේ මල්ලිගේ බිරිඳ ඉදිරිපත් විය. ඕස්ට්‍රේලියාවේ රෝහලක් තුල නැන්දාගේ කුසින් එලියට පැමිණෙන විටම මා මවුවරුන් දෙදෙනකුගේ බිළිඳියක් වීමි. මට පස් මසක් සපිරෙද්දී හදිසියේ රිය අනතුරකට මුහුණ පෑ මගේ දෙමව්පියන් මට අහිමි වන විට මා කුස දැරූ මව නිම්සරා නංගී කුස දරා උන්නාය. අවසානයේදී තවත් මවකට හිමිකම් ලැබූ මා මගේ පුංචි අම්මාගේ අපිරිමිත මව් සෙනෙහස මැද්දේ හැදී වැඩුණි.
මව්වරුන් තිදෙනෙකුගේ අපිරිමිත සෙනෙහස ලබන්නට වාසනාවන්ත වූ මම අද “ අම්මා” යන වචනයේ පරිසමාප්ත අර්ථය හැඳින්නෙමි.
මගේ කුසයට සිඟිති පැටියෙක් පැතූ දා මම නුඹ හැඳින්නෙමි
දස මසක් කුස දරා සෙනෙහෙන් ඈ මෙලොව දුටු දින නුඹ හැඳින්නෙමි
ම’කිරි බිළිඳුන් හඬන නින්දෙන් නලවනා කල නුඹ හැඳින්නෙමි
එක් මවක් ලෙස තුන් මවක් සිත පිළිසිඳ ආදරේ හැඳින්නෙමි...........
ලියා එව්වේ - ඉන්දික කුරුප්පු
ලියා එව්වේ - ඉන්දික කුරුප්පු
මව් ගුණ සිතට දනවන සොඳුරු නිර්මාණයක්...
ReplyDeleteDaruwek lebunahama Amma Thaththage agaya wediyen denenawalu. Eka me kathawena kiyanna uthsaha darala thiyenawa.
ReplyDeleteහොඳ නිර්මාණයක්...
ReplyDeleteඅලුත් අම්මා කෙනෙකුගේ හැඟීම් විස්තර කරලා හොඳින්. අන්තිමට කවියකුත්. මං කැමතියි මේ කථාවටත්
ReplyDeleteකතාව සඳහා තෝරා ගත්තු වස්තු බීජය නම් හොඳයි. ඒත් වර්ථමානයෙන් අතීතයට එක පාරටම යන තැන පොඩි අවුලක් තියෙනවා...
ReplyDeleteලස්සනයි . . .
ReplyDeleteඋත්සහය හොඳයි ! ඒත් ප්රභම මදි වගේ. මේ අත්දැකීම තවත් දැනෙන්ඩ ලියන්ඩ තිබ්බ කියල හිතෙනව.
ReplyDeleteමේ රතේමාවෙන් දිගට ලිව්වනම් මීට වඩා රසවත් වෙන්න තිබුනා. මම ලැයික්
ReplyDeleteකණගාටුවට කරුණකි. ඉතාමත් හදිසි අවශ්‍යතාවක් උදෙසා මා හට නගරයෙන් පිටත යෑමට සිදුව ඇත. ඔන්ලයින් වීම අපහසුවනු ඇත. ඔබගේ කථාවට මගේ කොමෙන්ටුව ලබා දීමට නොහැකි වී පිළිබඳව කණගාටුයි.
ReplyDeleteඔබට ජය!