අබූත

මොන දේ කළත් වරදින උපාලි කොන්දොස්තර කොල්ලා, ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ, මුහුණත අපැහැදිලි, අවපැහැ ගැන්වුණු කාසියකි. බෝක්කුවේ හිඳගත් උපාලි එය  පිරිසිදු කරන්නට විය. එකෙනෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.

"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබයි මගේ ස්වාමියා."

"අම්මට සිරි!" උපාලිට කියවිණි.

"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.

"සිරි කියන්නෙ ශ්රී කියන එක. ආශීර්වාදාත්මක වචනයක්." උපාලි වැරැද්ද හදාගත්තේය.

"බොරු නේද?

"ඒක පැත්තකට දානවකො. මොනවද බූතයෙකුට කරන්ඩ පුළුවන් ?"

"භූතයෙක්- මහප්රාණ යන්න." භූතයා නිවැරදි කළේය. "මොනවද වෙන් ඕනෙ."

"මාව ලෝකෙ ලොකුම පෝසතා කරනවකො."

"නම් අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් සිල්ලර කාසියක භූතයෙක්නෙ."

උපාලි සිල්ලර අවශ්යතාවයක් මතක් කළේය.
"බත් පිඟානක් ?"

"එච්චරනං අමාරුයි..."

ඉක්මණින්ම උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් අදහස් ප්‍රකාශ කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.


ඉන් නොසැළුණු උපාලි, උගෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතුවේය.

"මට කීකරුව හිටියොත් මොණර කොළේක බූතයෙක් වුණහැකි."

"භූතයෙක්, මහප්රාණ යන්න. මං කාසියෙ අයිතිකාරයට කීකරුයි." භූතයා කීවේය.

වැඩේ සරලයි.උපාලි පැහැදිලි කළේය. "තමුසෙට තියෙන්නෙ, ඔය මට කිව්ව හරියම අනික් මිනිස්සුන්ටත් කියන්ඩ."

"එච්චරද?

"එච්චරයි.  හැබැයි කොන්දේසි උඩ:
එක-  ප්‍රසිද්ධියෙ අතුරුදහන් වෙන්ඩ බෑ.
දෙක- මගෙ ළඟම ඉන්ඩ ඕන."



*********************



බස් නැවතුමේ රැක සිටින භූතයා, යන එන්නන් නවතා මෙසේ කියයි:
"ඒයි, මේ, මම භූතයෙක්!"

මිනිස්සු සැකයෙන් බලති.

අසරණ පෙණුමැති උපාලි දර්ශනයට පිවිසේ.

"අනේ මහත්තයො, මගෙ මල්ලි පිස්සු. අපේ දෙමවුපියො නෑ. මෙයාව බලාගන්ඩ තියෙන හින්දා මටත් රස්සාවක් කරන්ඩ බෑ. පින් සළකලා.........

භූතයා විශ්මයෙන් උපාලි දෙස බලයි. "මල්ලි වෙන්නෙ කොහොමද? මං භූතයෙක්."

උපාලිට ඇඬෙයි.

"සනීප කරන්ඩ පුළුවන් කියල දොස්තරලා කියනවා. ඒත් කන්ඩවත් සල්ලි නැති අපට...."

මිනිස්සු අතට අසුවෙන මුදලක් පින් තකා දෙති.

සාක්කු පිරීගෙන එනවිට පොලිසිය පැන්නේය. සල්ලි ටික මුළින්ම අත්අඩංගුවට ගැනිණි

"තමුන් දන්නවද මානසික රෝගියෙක්ව විකුණගෙන හම්බකිරීම නීතිවිරෝධී බව?"

 රාළහාමි සැරය.

"මං භූතයෙක්..."

" අපි බලා ගන්නං. දෙන්නම නගිනවා ජීප් එකට."

"අනේ මහත්තයො..."
උපාලි පින්සෙණ්ඩු විය.

"ජීප් එකට!"

"නගින්ඩද?" භූතයා උපාලිගෙන් විමසීය.

"නගිමු." උපාලිගේ වචනයට කීකරු වූ භූතයා රියට නැග්ගේය. නගින්නට මෙන් සැරසුණු උපාලි ඉවත පැන, කඩාබිඳගෙන දුවන්නට විය.

භූතයා පත් වූයේ අනපේක්ෂිත තත්වයකටය: උපාලි සමග සිටිය යුතුය; එහෙත් අගුළු ලා වසා ඇත. උපාලි ළඟට යාමට ඇති එකම මග,  අතුරුදහන්වීමය. එහෙත් එසේ අතුරුදහන් වීම උපාලි තහනම් කර ඇත.
කොන්දේසි දෙකකට සිරව ඇත.
එකක් ඉටු කරනුවස් අනෙක බිඳිය යුතුය.
ස්වාමියාගේ අණට අකීකරු වන භූතයෙකුට පැවැත්මක් නැත.
ඈත් විය නොහැක; අතුරුදන් විය නොහැක;
දෙකෙන් කෝක කළත් පැවැත්මක් නැත...
භූඌඌඌඌඌඌඌඌඌ

පොලිස් රියෙන් අතුරුදහන් වූයේ නිකම්ම භූතයෙක් නොව, පිස්සු හැදුණු එකෙකි.


****************



උපාලි බෝක්කුවේ හිඳගෙන හිස් බැල්මෙන් බලා සිටී. පිස්සු අභූතයා අසළ හිඳගෙන ගොරහැඩි ස්වරයෙන් ගයයි:

"කාසි නැතෝ... ස්වාමියෙක් නැතෝ....
මං කවුදෝ....
මමෙක් නැතෝ... මගෙ දෙයක් නැතෝ...
මං කවුදෝ..."

"කට වහපං."

"මං භූතයෙක්ද? නැත්තං ඔයාගෙ පිස්සු මල්ලිද?"

"තමුසෙ කාලකණ්ණියෙක්!"

අභූතයාට ඇඬෙයි.

"මාව හම්බුණු කවුරුත් කිව්වෙ ඔහොමයි.”

"කවුරුත්?"

"හ්ම්. අන්තිමට කොන්දොස්තර. ඊට කලින් දේශපාලකයො; මුදලාලිලා; කන්තෝරුකාරයො; නීතිඥයො; දුප්පත් මිනිස්සු; පෝසත් මිනිස්සු...
හැමෝටම මං කාලකණ්ණියෙක්.
මං මුකුත් බැරි එකා.
වංචාවක් කරන්න අකමැති එකා.
කාටවත් ප්රයෝජනයක් නැති එකා.

දැන් මං භූතයෙක්වත් නෙවෙයි."

අභූතයා වැළපෙයි. පිස්සෙක් වූයේ තමන්ගේ වරදිනැයි යන හැඟුම උපාලිව වෙළාගනී.

"උඹ කාලකණ්ණියෙක් නෙවෙයි බං. හොඳ එකෙක්." උපාලි අභූතයාට තට්ටුවක් දැම්මේය.
"උඹ මගෙ මල්ලි. නාඬා හිටපං."

අභූතයා කඳුළු පිසගත්තේය.

හැබැයි එකක් මතක තියා ගනිං:
දැං උඹ මනුස්සයෙක්. පොළොවෙ පය ගහල ඉන්ඩනම්, මහප්‍රාණ බෑ!

ලියා එව්වේ -  නලිනි චන්දිමා 
http://sith-aara.blogspot.com/

43 comments:

  1. පස්ට !!!! +++++++++++++
    ලොකු ප්ලස් එකක් ..කාගෙ නමුත් !!!!!! +++++++

    ReplyDelete
  2. මේක තමයි හොඳ ම කතාව.නැවුම්,ආකෘතිය වෙනස්,පොහොසත් භාෂාවක්,කතාව පුරාම අපූරු රිද්මයක් තියෙනවා.
    මගෙනුත් ප්ලස් රාශියක්.
    ජය වේවා !

    ReplyDelete
  3. මටත් මේක තමයි හොඳම කතාව. ඒකට එක හේතුවක් තමයි සරල සහ රචකයාට ආවේණික බස් වහරක් යොදාගෙන තිබීම. ඒ වගේම සරල සහ වෙනස්ම විදියේ ආකෘතිය.
    දෙවෙනි කාරණය තමයි මම හිතන්නේ කෙටි කතාවකින් විය යුතු දේ මෙතනින් හරියටම වෙනවා. අපි ලියන දේකින් වෙන්න ඕන කෙනෙක්ගේ ඔළුවට කතා කරලා යමක් දෙන එක. කථාව, ආකෘතිය, භාෂාව කොයි තරම් හොඳ වුනත් පණිවිඩය පාඨකයාගේ ඔළුවට උඩින් යනවා නම් ඒ කථාවේ අරමුණ ඉටුවෙන්නේ නැහැ. මේක ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීලා, මට හිතෙන විදියට. ජය...

    ReplyDelete
  4. //"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. // මම කැමතිම කෑල්ල :D

    ReplyDelete
  5. ගති! මගෙත් ඡන්දේ මේකට!

    ReplyDelete
  6. සිත් ගත්තා.
    ලියවිලා තියන හැම වාක්‍යයක්ම ප්‍රවේසමෙන් පෙරාගෙන එකතු කරල වගෙයි.
    පටන් ගත්තු තැන ඉඳන්ම කතා රසය නොඅඩුව දැනුණා.

    ReplyDelete
  7. Naralowa Holman katha pela sihi wuna. :) Mage waradak wenna ethi. Mein dena paniwudaya mata grahanaya wenne nehe. Udin thiyena adahas anuwa loku paniwudayak thiyena bawak hengenawa. Thun parak kiyewwa, thawa parak kiyawanna wenawa......

    ReplyDelete
  8. ඇයි පණිවුඩේ ඔය අන්තිමට තියෙන්නේ...
    "පොළොවෙ පය ගහල ඉන්ඩනම්, මහප්‍රාණ බෑ!"

    මාත් දැනට කියෙවුව හොඳම කතාව මේක.

    ReplyDelete
  9. මම තේරුවනම් තෝරන්නේ මේ කතාව. හාස්‍ය රසයත් එක්ක සමාජ පණිවිඩයක් දෙනවා. ඇලඩින්ගේ පහනේ හිටිය අවංක භූතයා වෙනස් වෙන්න ඕනි බව ඒ කතාව කියවපු කාලේ හිතුන දෙයක්.
    අගේ ඇති කතාව....
    මිනිසුන් අතර සිටින මිනිස් බූතයන්ටත් යස පණිවිඩයක් ....

    ReplyDelete
  10. ලස්සන කථාවක්නේ..... අමුතුම ආරක්.....මේක ලිව්වේ කවුද කියලා දැන ගන්න ආසාවෙන් හිඳිමි......

    ReplyDelete
  11. හික් හික් පට්ට කතාව

    ReplyDelete
  12. එළ නියමයි ........:D

    ReplyDelete
  13. "භූතයෙක්- මහප්‍රාණ භ යන්න.
    මරු..

    ReplyDelete
  14. වෙනස්ම ආරක කතාවක්.....ලස්සනයි,

    කතාවකින් පණිවිඩයක් දෙන්න ඕනය කියන එකට නම් මම එකඟ නෑ.

    මට නම එක පාරට මතක් වෙන්නෙ නෑ..... කවුරු හරි ප්‍රසිද්ධ ලේඛකයෙක්, පුවත් පත් වාර්තාකරුවෙක් අහපු ප්‍රශ්නයකට දුන්නු පිළිතුරක් මේ.....

    "මහත්මයා, ඔබ ලියන දෙයින් මොකක් හරි පණිඩිඩයක් දෙන්නට ඔබ උත්සාහ කරනවාද?"

    "පණිවිඩයක්?.......හෙහ්, හෙහ්,පණිවිඩ දෙන්න මොහොකටද ඔච්චර මහන්සි වෙන්නෙ?.....ටෙලිග්‍රම් එකක් ගැහුවම අහවරයි නෙව"

    ReplyDelete
  15. @ රවි
    මම හිතන්නේ මම වැරදි වචනයක් යොදාගත්තේ මගේ අදහස කියන්න. අපි මෙහෙම කියමු, අපි ලියන දේකින් ඉෂ්ට වෙන්න ඕන දෙයක් තියෙනවා. සමහරවිට අපි ලියන්නේ අපේ හිත ඇතුලේ කැකෑරෙන දුකක් හෝ සතුටක් පිටදාන්න වෙන්න පුළුවන්. අපිට මේක තව එකෙක් කියෙව්වත් එකයි නැතත් එකයි වගේ අදහසක් තියෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්නේ කියවන්නාගේ හිතේ යම් වෙනසක් කරන එක, චින්තනයට යම් දෙයක් එකතු කරන එක. ඒකයි මම පණිවිඩය කියන වචනයෙන් අදහස් කලේ. මේක මම විශ්වාස කරන දෙයක් විතරයි.

    ReplyDelete
  16. මේක නම් සිරා කතාවක්.... සරලයි... ගැඹුරුයි..රසවත්..

    ReplyDelete
  17. මගේ ඡන්දෙත් මේකට. වෙනස්ම විදිහක්. හරිම රසයි....

    ReplyDelete
  18. .@ Pathum Punchihewa,

    එකඟයි, අනිවාර්යයෙන්ම නිර්මාණයක් කියැවීමේදි කියවන්නා තුල කුමන හෝ වෙනසක් විය යුතුයි.....අවම වශයෙන් " මේ යකාට පිස්සුද.....මට නම් මෙලෝ දෙයක් තේරුණේ නෑ" කියන සිතුවිල්ල වත්........ඒකෙ තර්කයක් නෑ.....තම තම නැණ පමණ කියලත් තියනවනෙ......ඔබේ අදහස් පලකිරීමට ස්තූතියි......මම අදහස් කලේත් ඔබ කියන දේම තමයි.....නිර්මාණයකින් පණිවිඩයක් දෙන්නට අවශ්‍යම නැහැ කියන එක.....

    ReplyDelete
  19. "උඹ කාලකණ්ණියෙක් නෙවෙයි බං. හොඳ එකෙක්."
    "උඹ උඹේ අයියගෙයි අක්කගෙයි මල්ලි . නාඬා හිටපං."

    මම මටම තට්ටුවක් දාල ඇඬිල්ල නවත්තා ගත්තා

    ReplyDelete
  20. ප්ලොට් එක මැක්සා, භාශාව සරලයි, ආවේණිකයි.
    මරු!!!

    කෙටි නාට්‍යකටත් සිරා.

    මගේ චන්දේ මේකට.

    ප.ලි: මේක ලියපු කෙනා බ්ලොග් එකක් ලියනවනම් කියන්න අපිටත් කියවන්න.

    ReplyDelete
  21. සුපිරියි.කියලා වැඩක් නෑ.මම තේරුවා නම් මේක අනිවා 1

    ReplyDelete
  22. මේක තමා හොඳම කතාව මේ බ්ලොග ඇතුලෙ තියෙන

    ReplyDelete
  23. මේ කතාව හරිම creative.ආධුනිකයෙකුගෙ කියලා කියන්න බැහැ.
    Dilini.N

    ReplyDelete
  24. ෂෝක්! හැම රසයක්ම තියෙනවා.

    ReplyDelete
  25. බොහොම ස්තුතියි තරගය සංවිධානය කළ අයටත්, අදහස් දැක්වීමෙන් අනුග්‍රහය දැක්වූ සැමටත්. ලියන්නට කැමති කෙනෙකුට මේ හැම දෙයක්ම ලොකු දිරියක්.

    ReplyDelete
  26. ආයෙ හොයාගන්න දෝෂයක් නෑ නියමයි.

    ReplyDelete
  27. shaa!!!!! All the best Nalini...

    ReplyDelete
  28. oya liyapu keti katha balanna asayi,Nalini.

    Dilini.N.

    ReplyDelete
  29. Congtatulations Nalini,

    You got the prize for both....the most popular & the best....as it should be,

    It's the only positive aspect of this competition as far as I am concerened.

    Beast wishes from the bottom of my heart....

    ReplyDelete
  30. හැම දෙනාටම බොහොම ස්තුතියි අගය කිරීමටත්, සුභ පැතුමටත්.

    ReplyDelete
  31. ඔබතුමිය වෛද්‍යවරියක බව දැනගතිමි. බොහොම සතුටුයි. ඉදිරි ගමනට සුභ පැතුම්!

    ReplyDelete
  32. පොළොවෙ පය ගහල ඉන්ඩනම්, මහප්‍රාණ බෑ!

    මේ තර‍ඟෙ ගැන දැනගත්තෙ ප්‍රතිඵල නිකුත් උනාට පස්සෙ.. අනිවාර්යෙන් මේක තමා අංක 1. මේ කතාව කියවනකොට වසන්ත දුක්ගන්නාරාලගෙ "මල්ල" කෙටි කතාව මතක් උනා.ඒකෙත් මේ වගේම කතාව ගොඩනගන්නෙ අමුතු චරිතයක් (මල්ලක්) වටා. ඔබතුමියට තියෙන්නෙ සැබෑම හැකියාවක්. ලක්බිම පුවත්පතෙන් ඔබේ කතාවක් උපුටාගෙන පලකිරීම වගේම මේ තර‍ඟෙ දිනපු එක තුලිනුත් ඒක පැහැදිලී.
    කතාවකින් පනිවිඩයක් දෙන්න ඕන කියන එකට මම එකඟ නෑ. මම හිතන්නෙ ඕනම නිර්මාණෙක හිතන්න දෙයක් තියෙන්න ඕන. එච්චරයි. මේ කතාවෙ ඒ දේ හොඳට තියනව.

    @දෞපදී - මේ කතාව පෙන්වුවාට ස්තුතී...

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්