සැනසිල්ල

උපාලි, කදිරවේලු තමන් දෙසට එනු දැක හදිසියේ යමක් සිහි වූයෙකු මෙන් මඟ හැර ගියේය. මෙය කදිරවේලුට අලුත් දෙයක් වූයේ නැත. ආයතනයේ සිටි වඩාත් ගුණ යහපත් මිනිසෙකු වූ උපාලි තමන්ට මූණ නොදෙන බව හේ දනී. එකම මට්ටමේ නිලධාරීන් වුවත් මෙසේ උපාලි තමන්ට මුහුණ නොදෙන්නේ මන්දැයි කදිරවේලු නිතරම කල්පනා කළේය. දෙතුන් වතාවක් උපාලිගෙන් විමසුවද, මඟ හැර ගියා මිස උත්තරයක් දුන්නේ උපාලි නොවේ.

අවුරුදු ගණනක් එකට රාජකාරි කළද, දෙදෙනා එකිනෙකා හා කතා කර ඇත්තේ බොහොම අඩුවෙනි. බොහෝ සංවේදී මිනිසෙකු වූකදිරවේලුට උපාලිගේ මේ හැසිරීම ඉහිලුම් නොදෙයි. අලුතින් පැමිණි සමන් කදිරවේලුගේත් උපාලිගේත් හොඳ හිතවතෙක් වූයේ ඔහුත්මේ දෙදෙනා මෙන්ම ඉතා සංවේදී, මිත්රශීලී අයෙකු නිසාවෙනි. එහෙත් මේ දෙදෙනා අතර ඇති නිහඬ බව සමන් තුළද කුකුසක් ඇතිකළේය. 

කදිරවේලුගේ දරුවාගේ හදවතේ සැත්කමක් කිරීමට අවශ්‍ය බැවු දැනගත් කදිරවේලු මහත් සේ කම්පා වූයේ සාමාන්‍ය වැටුපක් ලබන තමා වැන්නෙකු එවැනි විශාල මුදලක් සොයන්නේ කෙසේදැයි කියාය. මෙය සමන්ට මෙන්ම උපාලිටත් දැඩි මානසික පීඩාවක් ඇති කළ ආරංචියක් විය.
එදින කුඩා පුතුට ළදරු කිරිපිටි එකක් ගේන්නැයි බිරිඳ කී විට මඳක් කල්පනාවේ සිටි උපාලි දැනට අපේ කිරිපිටි වලින්ම දෙමු දැන් දරුවට අවුරුද්දකටත් කිට්ටුයිනේ කියා කීවේ සුසුමක් පිට කරමිනි. මවු පියන් ද දරුවන් දෙදෙනෙක් ද නඩත්තුව ලේසි පහසු කටයුත්තක් නොවේ. මතක ඇති කාලයක විනෝදය වෙනුවෙන් කිසිදු මුදලක් වියදම් කළා උපාලිට මතක නැත. උපාලි මුදල් වියදම් කළේ ඉතාමත් අර පරිස්සමිනි. එහෙත් කිසි විටකත් තමාගේ යුතුකම් මඟහරින්නට ඔහු කැමති වූයේ නැත. පුතුට ළදරු කිරිපිටි තිබුණා නම් හොඳ බව ඔහු දනී. එහෙත් ප්ලේන්ටි උගුරෙන් ජීවත් වන දරුවන් සිටින රටේ තමන්ගේ පුතා ඒ තරම් අසරණයෙකු නොවන බවට ඔහු තර්ක කරන්නේ තමන්ගේ යටිහිත සමඟමය.

එදින තේ පානය අතරතුර කතා බහේ දී කදිරවේලු කීවේ තමන්ටත්, බිරිඳටත් 1983 දී දෙමවුපියන්ව සහ ඔවුන් සතුවූ දේපල සියල්ල අහිමි වූ බවයි. බිරිඳගේ පියා සතුව ඉතා සාර්ථක වූ රත්‍රන් බඩු සාප්පුවක් තිබූ බව ඔහු හෙළී කළේය.

ඒ සාප්පුව තිබුණේ කොහේද? කවදාවත් නැති උනන්දුවකින් උපාලි ඇසුවේ කදිරවේලු පුදුමයට පත්කරවමිනි.
දැරණියගල. ඔහු පිළිතුරු දුන්නේය.
මුදලාලිගේ නම? උපාලිගෙන් තවත් ප්‍රශ්නයකි.
බාලරාම්. උපාලි හිඳි අසුනෙන් නැගිට්ටේ කිසියම් ජීවයක් ලද්දෙක් මෙනි.
ඒ කියන්නේ ගෞරවී ජුවලර්ස්? උපාලි යළි අසයි.
හ්ම්.. උපාලි එයාලව දන්නවද?
අපි යමු. දැන් තේ වෙලාව ඉවරයි. සමන් කියයි.
මුදලාලිට මොකද වුණේ.. ? නෑ.. කදිරවේලුට අද ෂෝට් ලීව් එකක් දාලා එන්න පුළුවන්ද? මට ගොඩාක් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා ඔයත් එක්ක.

මුදලාලියි පවුලේ සේරමයි මැරුණයි කියලා තමයි අපට ආරංචි වුණේ. ඒ මුදලාලි හරිම හොඳ මනුස්සයා. හැමෝම වගේ මිනිහා ගැන දුක් වුණා. අපේ එවුන්ගේ මෝඩ වැඩ.

ඒ ගැන දැං කතා කරලා වැඩක් නෑ උපාලි. වාසනාවකට ඒ පවුලේ බාල දුව වසන්ති ඉතුරු වුණා. එයා තමයි මගේ බිරිඳ.

එදා කෝලහාල වෙලාවේ මාත් හිටියේ ටවුන් එකේ. බාලා මුදලාලි අපේ තාත්තගේ හොඳ යාළුවා. එයාලට කරදර ද බලන්න යනකොට ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. ඒත් මං ඇතුළේ සෝදිසි කරනකොට මැරයන්ට අහු නොවුණු රත්‍රං තොගයක් හම්බු වුණා. මං සද්ද නොකර ඒක ගෙදර ගෙනාවා. හොරකමකට නෙවෙයි. මුදලාලි හම්බු වුණාම දෙන්න. කලබොල වෙයි කියලා අපේ තාත්තටවත් කිව්වේ නෑ. ඒක ගෙයි මිදුලේ වල දැම්මා. ඒත් මං මගේ හිතෙන් පුදුම වදයක් වින්දේ. දැං ඒ රත්‍රං ටික ඔයාගේ බිරිඳට දෙන්න පුළුවං. අප්පේ.. මගේ හිත දැං නිදහස් උපාලි කීවේ මහත් සැනසිල්ලෙනි.

ඒ සැනසිල්ලත් සමග මොහොතක් රැඳුණු උපාලි, කදිරවේලුගෙන් සමුගෙන ඉක්මනට ගියේ අවුරුදු ගණනකට පසු ගෙදර ගොස් සැනසිල්ලේ නිදා ගැනීමටය.

ලියා එව්වේ - චතුර විජේකෝන්
http://hadapathula.blogspot.com/

17 comments:

  1. මම ආසයි මේ කතාව තව ගොඩක් තීව්‍ර විදියට ලියවුනා නම්... නාට්‍යමය ආකාරය වැඩි වුනා නම්...
    ජය... මම මේ කතා ආසාවෙන් කියවනවා.... :)

    ReplyDelete
  2. ඔව්.මේ කතාව තවත් කුතුහලය දනවන විදිහට ලිව්වා නම් හොඳයි.ඉතාමත් හොඳ ආරම්භයක් තිබුණු කතාව මැද හරියෙදි රිද්මය බිඳ ගන්නවා වාගෙයි මට හිතෙන්නේ.අවසානය මීට වඩා තිගැස්මක් තිබුණා නම් හොඳයි.
    ජය වේවා !

    ReplyDelete
  3. අප සැමට හොඳ පණිවිඩයක් දෙන ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  4. mulin kiyawena chedaya pasu katawa ha gelapena pramanaya madi wage. Samasthayak hetiyata gaththahama honda katawak

    ReplyDelete
  5. මේ වගේ අවංක මිනිස්සු ලෝකෙටම වාසනාවන්. පස්සේ වෙලාවක කැමති වදන් ප්‍රමාණයක් යොදාගෙන තවත් විස්තර ඇතිව ලිව්වා නං බ්ලොග් එකේ හරි, ඒක හරිම වටියි

    ReplyDelete
  6. හ්හ්ම්ම්ම් . .. උපාලිගේ බර මීට වඩා දැනෙන්නේ ලියන්න තිබ්බා . . . කදිරවේලුගේ දරුවගේ ප්‍රශ්නෙත් එක්ක දේපල නැතිවීම ත් ඒ ගැන කදිරවේලු සමහරවිට සිංහල අයට වෛර කරන ආකාරයටත් වගේ ලිව්ව නම් මීට වඩා සාර්ථක වෙන්න තිබ්බා කියලා හිතෙනවා.

    ReplyDelete
  7. ඇත්තටම වචන 500 ක කතාවකට මේ කතාව ලඝු කරන්න ගිය හින්දා කතාවේ රසයට බාධා වුණා කියලා හිතෙනවා....

    ReplyDelete
  8. අප රට තුල සිදුවූ සදා නොමැකෙන කේදවාචකයේ අතුරු ඵලයක් සටහන් කරන්නට යෙදෙන මෙම කථාවේ තේමාව ශක්තිමත් බව මගේ හැඟීමයි. අනාගත හොඳ කෙටි කථා කරු‍වකුගේ ලක්ෂණ මෙම ලියුම් කරු ප්‍රකට කරන බවද කිව හැකිව ඇත.

    එදින කුඩා පුතුට ළදරු කිරිපිටි එකක් ගේන්නැයි බිරිඳ කී විට මඳක් කල්පනාවේ සිටි උපාලි දැනට අපේ කිරිපිටි වලින්ම දෙමු දැන් දරුවට අවුරුද්දකටත් කිට්ටුයිනේ කියා කීවේ සුසුමක් පිට කරමිනි. මවු පියන් ද දරුවන් දෙදෙනෙක් ද නඩත්තුව ලේසි පහසු කටයුත්තක් නොවේ. මතක ඇති කාලයක විනෝදය වෙනුවෙන් කිසිදු මුදලක් වියදම් කළා උපාලිට මතක නැත. උපාලි මුදල් වියදම් කළේ ඉතාමත් අර පරිස්සමිනි. එහෙත් කිසි විටකත් තමාගේ යුතුකම් මඟහරින්නට ඔහු කැමති වූයේ නැත. පුතුට ළදරු කිරිපිටි තිබුණා නම් හොඳ බව ඔහු දනී. එහෙත් ප්ලේන්ටි උගුරෙන් ජීවත් වන දරුවන් සිටින රටේ තමන්ගේ පුතා ඒ තරම් අසරණයෙකු නොවන බවට ඔහු තර්ක කරන්නේ තමන්ගේ යටිහිත සමඟමය.

    මෙම ඡේදයෙන්, යහපත් පියෙකු, යහපත් සැමියෙකු, යහපත් පුතෙකුගේ ලක්ෂණ දක්වා පෙන්වීමට ලියුම්කරු උත්සහ දරා ඇති අතර ඒ හැඟීම අප හිත තුල ද ඉපදීම නිසාවෙන් ඔහු සාර්ථක වී ඇති බව කිව හැකිය.දීමට ඇති අපහසුව නිසා පුතුට ලදරු කිරිපිටි නොදෙනවා මිසක දෙන්නට කැමැත්තක් නැතිව නොවේ. අප ‍රටේ බොහොම පියවරුන්ගේ කථාව ඔහු මැනවින් දර්ශනය කර ඇත.

    එලෙසම කෙටි කථාවක තිබිය යුතුම ලක්ෂණයක් ඔහු මෙම කථාවෙන් උද්දීපනය කරන බව පෙනී යන කරුණකි. මේ ඉහත ඡේදයෙන් ඔහු සටහන් කරන්නට යෙදුනු දෙය සමස්ත කථාවේම අර්ථය ඉමහත් සේවයක් කරයි

    එනම් කථානායක මුදල් අඟහිඟ කමින් පෙලෙන කෙනෙකි.අවසානයේදී අතරම් රත්තරං ගොඩක් ලඟ තබාගෙන, අවංකව ජීවත් වුනු කෙනෙක් බව පෙන්වීමට මැද හරියේදී ඔහු අඟහිඟ කම්වලින් පෙලුනු කෙනෙක් බව සටහන් කිරීම හොඳ රුකුලක් ලෙස ලියුම් කරු භාවිතා කරයි‍.

    නවකාථාවක නොවුනද කෙටි කථාවකදී මුල් හරියේදී කෙ‍නෙකු අත රැඳි පෑනක් ගැන කියැවුනද එය කථාවේ අවසාන මොහොතේ හෝ නැවත මතුව කථාවට සේවයක් කළ යුතු බව අපට උගන්වා ඇත. මා දකින විදිහට ලියුම් කරු මනාව කථාව ගොඩ නගා ඇත.

    සමහරවිට මෙම අවසාන ඇනෝනිමස් පිළිතුර සපයා ඇත්තේද ඔහු විය යුතුය. ඔව්. වදන් සීමාව නිසා ඔබ අපහසුතාවට පත් වී ඇති බව පෙනේ. එහෙත් ඔබ වදන් අපතේ යැවූ තැන්ද ඇති බව පෙන්විය යුතුය. උදාහරණයක් හැටියට ගත් කල පළමු ඡේදය. එය මෙම කථාවට සම්බන්ධ වන ආකාරය පිළිබඳව මට වැටහීමක් නැත. ඉඳින් කථාව මීට වඩා ශක්තිමත් ආරකින් ලිවීමට එම අපතේ ගිය ඡේදය භාවිතා කලා නම් සමහරවිට මෙය මීට වඩා ඉහළ තලයක තිබෙනු ඇත යන්න මාගේ වැටහීමයි.

    සමස්ත තේමාව යහපත් ‍එකක් ලෙස සිතේ. ආදර්ශමත් කථාවකි. ලියුම්කරුගේ උත්සහය පැසසුම් කටයුතුය.

    ReplyDelete
  9. හොඳ උත්සහයක්. ඒත් කතාව ගොඩනැන්වීම දුර්වලයි. ප්‍රභල මදි...

    ReplyDelete
  10. මේකනම් මදි වගේ ටිකක්

    ReplyDelete
  11. සාමාන්‍ය යි.
    Dilini .N.

    ReplyDelete
  12. @ජීවිතේ මල්
    මේ කතාවේ ස්වරූපයට අනුව චරිතය තරමක් විස්තර කළ යුතුයි කියා මා සිතනවා. එය හරි හැටි ඉටු කරන්නට වචන සීමාව බාධාවක් වුණා. ඒ නිසාම සමහර අත්‍යාවශ්‍ය තැන් මඟ හැරුණා... මෙහි මා කළ ලොකුම වරද තරඟයේ ස්වභාවයට ගැලපෙන විදිහේ කතාවකට යොමු නොවීමයි කියා මට හිතෙනවා...

    @කාංචනා අමිලානි
    අවසානයට යම් තිගැස්මක් එක් කිරීමෙන් කතාවට ඉහල ආකර්ශණයක් එක් කළ හැකි බව ඇත්ත. ඒත්... අපි බලමු මං මේක මගේ බ්ලොග් එකේ නැවත සංස්කරණය කරලා දාන්න ඉන්නවා.. සමහර විට ඔබ ඔය කියන අඩුපාඩු අඩු කරගන්න පුළුවං වෙයි...

    ReplyDelete
  13. @දෞපදී
    බොහොම ස්තුතියි නංගී

    @ඇනෝ1
    මගේ ප්‍රකාශණයේ දුර්වල කමක් වෙන්ට ඇති. පළමු ඡේදයෙන් මං උත්සාහ කළේ උපාලි තුල දෙමල ජාතියට මුහුණ දීමට තිබුණු අපහසුව පෙන්වන්නයි... බොහොම ස්තුතියි..

    ReplyDelete
  14. @කතන්දර Kathandara
    බොහොම ස්තුතියි අදහසට.

    @RanDil
    ඔබ කිවු දේ මං කරන්න හිතාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි දිරිමත් කිරීමට.
    @දුකා
    හැම දේම කෙටියෙන් විස්තර කරන්න වුණා. අදහසට ස්තුතියි මචං
    @ඇනෝ 2
    මේ ඉතිං මම ම තමයි. පුදුමේ කියන්නේ පල්ලෙහායිං කොමෙන්ටුව දාලා තියෙන දරුවා ඒක අඳුනගෙන තියෙන එක නොවැ. මං මේ හුඟ කාලෙකින් ඇනෝ කමෙන්ටුවක් දැම්මමයි. ඒ දැම්මෙත් තරඟයේ විනිවිද භාවයට හානියක් නොවෙන්න හිතාගෙන.

    ReplyDelete
  15. @සඳුන් දර්ශනී
    නංගී හැම කෙටි කතාවකටම වගේ ඉතා හොඳ විචාරයන් ලියලා තියෙනවා දැක්කා. ඔයාගේ විචාරය කියවලා මං කොලර් එක උඩටම උස්ස ගත්තා... ඔයාට හොඳින් විචාරය කරන්න පුළුවං විතරක් නෙවෙයි කතාව විනිවිද දකින්න පුළුවං.
    ඔබ වරදක් විදිහට දක්වා ඇති පළමු ඡේදය ගැන මම මීට පෙර කමෙන්ටුවකදී සඳහන් කළ නිසා මෙතන නොලියමි.

    ඉතා ආදරයෙන් ඉල්ලමි. දිගටම අප හා රැඳෙන්න. ඔබ අපට මහත් ධෛර්‍යයකි...

    ReplyDelete
  16. @චමිල, අලුත් කොල්ලා, Dilini .N.

    බොහොම ස්තුතියි අදහස් වලට

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්