නිහඬ ගීතය

කෙමෙන් අඳුරු වැටෙන පරිසරයෙන් දෑස් මුදවා ගත නොහැකිව ඇය බලාගත් වනම බලා සිටියාය. ඇතැමෙක්ගේ දවස නිමා වෙද්දි , තවත් ඇතැමෙක්ගේ දවස ඇරඹෙන අයුරු අපූරුය. අහසේ ඉදහිට කලබලයෙන් පියාසර කරන වවුලන් සහ කුරුලන් දකින ඇයට එසේ සිතුනද , අන්අය ජීවිතය අවසන් කරනට බලා සිටින අවදියක තම ජීවිතය ආරම්භ කිරීමට වීම ගැන ඇගේ සිතේ තිබූ දෙගිඩියාව තුරන් කිරීමට සහයක් ඉන් ලැබෙන්නට ඇත.

නිවස අඳුරින් වැසීයාමට ඉඩ දීම මූසලකමකි.ජීවිතය ද එසේ නොවන්නේ ද? අඳුරින් වැසී යමින් තිබූ නිවසේ ආලින්දයේ විදුලි පහන් දැල්වූ ඕ එයින් වැටෙන මෘදු එළිය යට සිටගෙන රැළි වැටෙමින් තිබූ තම දෑත් දෙස විමසිල්ලෙන් බලන්නට වූවාය.

තව මොහොතකින් ගෙට ගොඩ වන බඩගිනි හමුදාවටත් , තම බාල සහෝදරයා සහ ඔහුගේ ප්‍රියම්බිකාවටත් රාත්‍රි ආහාරය පිළියල කරනු වස්  ඇය මුළුතැන් ගෙය කරා ඇදුනේ මේ පණිවිඩය තම සොහොයුරාට දැනුම් දෙන අයුරක් ගැ නද සිතමිනි.

                                                         ------------------------------------
දියණිය කෑම මේසයේ ඇගේ කෑම පිඟානට ඔරවමින් සිටියි. පුතා ගේ තියුණු බැල්ම තමාගේ ආත්මයම කපා දමමින් දැඩි වේදනාවක් දෙන බවක් හැඟුනි.

“ අප්පච්චි , ඔයා මේ කරන වැඩේ නිසා මං කොහොම ද කුමුදුගෙ ගෙදර අයට මුහුණ දෙනනෙ ? වලපයයි ගොඩ පයයි තියාගෙන මොන මනමාලකම් ද කියල කුමුදුත් මට හරියට ඇනුම් පද කීවා “

කඳුළින් බර වූ හදවත නෙතින් එළියට පනිතැයි බිය වූ මැදිවියේ මිනිසා තම මුහුණ කෑම පිගාන වෙත නාභිගත කළේ ය. සුළැඟිල්ලෙන් පටන් ගත් සිහින් වේදනාවක් තම ශරීරයේ සෑම තැනකටම ක්ෂණිකව පැතිර යනු ඔහුට දැනිනි.

“ මෙච්චර කල් හිටිය වගේ ඇයි අප්පච්චි ඉතිරි ටිකත් ඉන්න බැරි “

තම ජිවිතයේ සියල්ලම කැප කරමින් දරුවන් වැඩූ ඔහුට අහම්ඹයෙන් නෙත ගැටුන අමතක ව යමින් තිබූ මතක යළිදු සිහියට ගෙනා ඒ සොඳුරු ගැහැණියගේ රුව වඩ වඩාත් සිතට දැනෙන්නට විය. අත සෝදා ගත් ඔහු , කෑම මේසයෙන් නැගිට තම කාමරය වෙත පිය මැන්නේ  තනිව සිටිමේ උවමනාව ඉතා තදින්ම දැනුන බැවිනි.

අස්පස් කර නොතිබුන සයනයේ, ඇද විට්ටමට කොට්ටයත් තබා  සැතපුන ඔහු , තම තරුණවියටත් , ඇය සමඟින් තනිවූ සොඳුරු අධ්‍යාපන නිකේතනටත් ගොඩ වදිනු වස්  දෑස් පියා ගන්නට විය.සැමදා මෙන්ම අදද ඔහුට යා හැකි වුයේ ඇගෙන් සමුගත් අවසාන දිනයේ මතක අතරට පමණි.

“ වෙන කරන්න දෙයක් නැහැ කෙල්ලෙ , මට මගේ අම්මගෙ හිත රිද්දන්න බැහැ “

“ ඔයා ඒ බව දැන දැන ඇයි මෙහෙම කළේ “

එයට දීමට සුදුසු හා සාධාරණ පිළිතුරක් එදා මෙන්ම අදට ද ඔහු සතු නොවේ.නමුත්  යළිදු වතාවත් ඉතාම අහම්ඹෙන් මුණ ගැසුන ඇය  තම චිත්තසන්තානයේ වූ  මැල වී ගිය සියළුම රසාංකුර පුබුදුවා ලිමට සමත් විය. වේලී කේඩෑරි වී ගොස් තිබූ තණ පිටියට වට සිහිල් දිය සීරාවක් මෙන් ඇගේ වතත් ඇගේ සිහින් ස්වරයත් ජීවය දුන් හැටි අපූරුය. ඉන් එහා ගොස් තම සිත වඩාත් පීඩාවට පත් කළේ  ඇය තවමත් අවිවාහකව පසු වීමයි. ඒ ඇයිදැයි විමසීමට ඔහුගේ මුවට වචන නාවත් , ඒ ඇයිදැයි යන්න ඔහු සැමටම වඩා හොඳින් දැන සිටියේය. තම ජීවිතයේ සැදෑ සමය ආසන්නයේ රසදුරන් පිනවීමට එහා ගිය සබඳතාවක උවමනාවටත් වඩා , තමා නිසා ඇයට සිදුවී ඇති අකටයුත්ත නිවරදි කර ඇය තමාගේ සෙවනට ගෙන තම හෘද සාක්ෂිය නිවරදි කර ගැනීමට ඔහුට දැඩිසේ උවමනා වී තිබුනි.


                                                            -------------------------------------

“ මොනා ද අක්කා ඔයා මේ කියන්නේ ? ඔයා හිතන්නෙ ඔයාව අපිට බරක් කියල ද ? ඔයා ඒ දවස් වල අපි හොයපු කොච්චර හොඳ මගුල් යෝජනා වලට අකමැති වුනා ද? දැන් මොකක් ද මේ නටන විකාරය ? “

“ වයසට යන කොට තමයි මඟුල් විසේ ඉහට ගහන්නේ “

“ ඔයා කට වහගන්න . මේක මගෙයි අක්කගෙයි කතාවක්“



වෙනදා මෙන් ඉර පායා එමින් තිබුනේ කිසිම වෙනසක් නොපෙන්වමිනි.  වෙනදා මෙන්ම හිමිදිරියේ නැගිට ගත් ඇය , සියළු දෙනාටම කෑම පිස්සාය. මිදුල ගේ දොර අස්පස් කළාය. හදිසියේම යමක් සිහිවූ කලක් මෙන් කවදාවත් නැතිව මල් පහන් පූජා කළාය.ඉන් සුළු මොහොතකට පසුව ඇය දකින්නට හැකි වූයේ රෝස පැහැති ඔසරියකින් සැරසී මැදවියේ පිරිමියකුගේ දකුණත යන්තමින් අල්ලා ගෙන පිය නගින අපූරු සොඳුරු ගැහැණියක ලෙසිනි.

“ මං හිතුවා ඔයා එන්නෙ නැති වෙයි කියල “

“ මට ආයෙත් පාරක් ඔයාව නැති කර ගන්න බැහැ “

“ පුතාල ඔයාට දොස් කියාවි ‘

“ එයාලට මං යුතුකම් ඉස්ට කරා “

“ ඉස්සර වගේ තාමත් .................“

“ මං ඔයාට ආදරෙයි “

ලිහිල්ව අල්වන් ආ සුරත් දැඩිව සිරවී ගියේ ය. ලෝකයා ඔවුන් දෙස බලා සිටන වගක් නොදත් ඔවුන් , පාළු මාවතේ ඈතට ඈතට ඇවිදන් ගොස් දෑස් මානයෙන් නොපෙනී යනතෙක් මම බලා සිටියෙමි.



ලියා එව්වේ - සොඳුරු සිත
http://sodurusitha.blogspot.com/

12 comments:

  1. ප්‍රේමය කිසිදින මහළුව නොයන්නේය,
    එදා ඔබ වෙත බැඳුනු ප්‍රේමය,
    මෙදා මා සිත එදා මෙන්ම නොවෙනස්ව පවතින බව දන්නේ,
    ඔබ හා මම හැරුණුකොට දෙවියන් පමණකි.

    ReplyDelete
  2. pirimiyekuge athmarthakameethwaya tamai itin neda? Weradila hari kalin wife hitiya nan balanna thibuna wede..........:)

    ReplyDelete
  3. වචන සීමාව මේ කතාවට නම් බාධා කර නැති හැඩයි. නීති රීති කෙසේ වෙතත් මෙය ඉතා රසවත් කතාවකි....

    ReplyDelete
  4. සුමටව ගලාගෙන යන ලස්සන කථාවක්

    ReplyDelete
  5. අඩු වචන ප්‍රමාණයකින් කිව යුතු සියල්ලම අඩු නැතිවම කියලා තියෙනවා. හොඳ නිර්මාණයක්...

    ReplyDelete
  6. ආදරය කවදාවත් මහළු වෙන්නේ නෑලුනේ

    ReplyDelete
  7. නියමයි . . . කඳුලු එන තරම් හොඳට ලියලා තියෙනවා . . . තව පොඩ්ඩක් උත්සාහ කලා නම් ඉකි ගහ ගහා ඇඬෙන තරම් ලස්සනට ලියන්න තිබ්බා . .

    ReplyDelete
  8. මෙය මෙම තරඟාවලිය තුල මම දකින ආකරයට ඉහළම තලයේ තිබෙන කථා අතුරින් එකකි. ඒ බව ආරම්භයේ සිට අවසානය දක්වාම මැනවින් නිරූපණයවේ.

    ඇතැමෙක්ගේ දවස නිමා වෙද්දි , තවත් ඇතැමෙක්ගේ දවස ඇරඹෙන අයුරු අපූරුය. අහසේ ඉදහිට කලබලයෙන් පියාසර කරන වවුලන් සහ කුරුලන් දකින ඇයට එසේ සිතුනද ,

    කථාවේ සමස්ථාර්ථයම මෙම වාක්‍ය කණ්ඩයට සම්පිණ්ඩනය වී ඇත.

    අන්අය ජීවිතය අවසන් කරනට බලා සිටින අවදියක තම ජීවිතය ආරම්භ කිරීමට වීම ගැන ඇගේ සිතේ තිබූ දෙගිඩියාව තුරන් කිරීමට සහයක් ඉන් ලැබෙන්නට ඇත.

    කථාවට මනා ප්‍රවේශයක් ලබා දී ඇත.

    නිවස අඳුරින් වැසීයාමට ඉඩ දීම මූසලකමකි.ජීවිතය ද එසේ නොවන්නේ ද? අඳුරින් වැසී යමින් තිබූ නිවසේ ආලින්දයේ විදුලි පහන් දැල්වූ ඕ එයින් වැටෙන මෘදු එළිය යට සිටගෙන රැළි වැටෙමින් තිබූ තම දෑත් දෙස විමසිල්ලෙන් බලන්නට වූවාය.


    තව මොහොතකින් ගෙට ගොඩ වන බඩගිනි හමුදාවටත් , තම බාල සහෝදරයා සහ ඔහුගේ ප්‍රියම්බිකාවටත් රාත්‍රි ආහාරය පිළියල කරනු වස් ඇය මුළුතැන් ගෙය කරා ඇදුනේ මේ පණිවිඩය තම සොහොයුරාට දැනුම් දෙන අයුරක් ගැ නද සිතමිනි.

    මෙම ඡේද දෙකද උසස් අන්දමින් ලියැවී ඇති බව මට සිතේ. එයද කථාවේ අර්ථය මේ යැයි මැනවින් පෙන්වා දෙයි. ඇගේ අත් රැළි වැටී ඇත්තේ ඉහත සඳහන් හමුදාවට සේවය කිරීම නිසාවෙනි. ඇය එය කරනුයේ හිත පිරි සතුටින්නොවන බව පෙන්වීමට, බඩගිණිකාර හමුදාව යන වදන විතරක් කර ඇති සේවය බලන්න.

    “ අප්පච්චි , ඔයා මේ කරන වැඩේ නිසා මං කොහොම ද කුමුදුගෙ ගෙදර අයට මුහුණ දෙනනෙ ? වලපයයි ගොඩ පයයි තියාගෙන මොන මනමාලකම් ද කියල කුමුදුත් මට හරියට ඇනුම් පද කීවා “

    තම පියා වුවද මනුෂ්‍යයකු බව අමතක කරමින්, ආත්මාර්ථකාමී කම මතුවූ අයුරු...

    තමන්ගේ විවාහය ඉදිරියට ගෙන පෙන්වමින් පියාගේ විවාහයට අකුල් හෙලන අයුරු...

    හිත්පිත් නැති අයුරින් පියා වලපයයි ගොඩ පයයි තබාගෙන සිටින කෙනෙකු බව පවසමින් ඔහුගේ මරණය ආසන්න බව සිහිපත් කරන අයුරු...

    “ මෙච්චර කල් හිටිය වගේ ඇයි අප්පච්චි ඉතිරි ටිකත් ඉන්න බැරි “

    නැවතත්, බොල නාකියෝ, පැත්තකට වෙලා හිටු නොකියා කියූ අයුරු...

    “ මොනා ද අක්කා ඔයා මේ කියන්නේ ? ඔයා හිතන්නෙ ඔයාව අපිට බරක් කියල ද ? ඔයා ඒ දවස් වල අපි හොයපු කොච්චර හොඳ මගුල් යෝජනා වලට අකමැති වුනා ද? දැන් මොකක් ද මේ නටන විකාරය ? “

    “ වයසට යන කොට තමයි මඟුල් විසේ ඉහට ගහන්නේ “

    “ ඔයා කට වහගන්න . මේක මගෙයි අක්කගෙයි කතාවක්“

    ආත්මාර්ථකාමී බව තදබලව ඉස්මතු වෙන අයුරු....

    හැම වචනයක්ම හැම ඡේදයක්ම තෝරා බේරා විකාශනය කර ඇති බව කිව හැකිය. සමස්ත කථාවේම සියලුම චරිත ආත්මාර්ථකාමී බව පෙරදැරිව කටයුතු කරන අයුරු හැම වදනකින්ම මැනවින් නිරූපණය වේ.

    සැබෑව නම් එයයි. අප අනෙකුකට ආදරය කරන බව පැවසුවද අපි ආදරය කරනුයේ අපටම බව මෙවන් අවස්ථා වලදී මැනවින් ඉවතට පැන පෙන්නුම් වේ. මෙවන් අවස්ථාවකදී ඇත්ත වශයෙන්ම දරුවෝ, නෑයෝ අපහසුතාවට පත්වන බව සත්‍යයකි. මෙහි රඟන චරිත ඒ බවට මොනවට දෙස් දෙයි. එහෙත් දිනිය යුත්ත දිනිය යුතුමය. කලක් තිස්සේ අනුන් වෙනුවෙන් කැපවූ දැන් තමන්ගේ සතුට සාධනය කර ගන්නට යන කථානායක චරිත දෙක අපට පෙන්වන දෙය එයයි.

    සමහරවිට කුමුදු නමින් හැඳින්වෙන චරිතය හා පුතුගේ චරිත විරසක වීමටද ඉඩ ඇත. එහෙත් කාලාන්තරයක් තිස්සේ හිතට වදදුන් ගැටළුවෙන් නිදහස් වූ ඔහුට එය ගැටළුවක් නොවී ඇත.

    ඉතාමත් සංයමයෙන් යුතුව ගලා යන මෙම කථාවේ කීමට තරම් අඩුපාඩු මට නොපෙනේ. සෘජුව සැපයෙන ආදර්ශයක් හෝ උපදේශයක් නැති වුවද, සමස්ථාර්තය සැලකූ කල, තමන්ගේ ජීවන පැවැත්ම තමන් සතු බව පෙන්නුම් කෙරෙන කථාවක් ලෙස හඟිමි.

    ReplyDelete
  9. අගය කළයුතු නිර්මාණයක්.... රසවින්ඳෙමි.

    ReplyDelete
  10. බොහොම ස්තූතියි. මේ කතාව ලියූ කෙනා මම වෙමි.මා නොසිතා ලියූ , මාගේ යටිසිත යැයි සිතෙන තරමට , මා ලියූ මේ කතාව දෙස අලුත්ම මානයක් ඔස්සේ බැලීමට මා සිත මෙහෙය වූ සඳුන් දර්ශනි ඔබට ස්තූතියි.

    මා ලියූ කතාවක් දෙස , මගේ ඇසින් මිදී බලන්නට ,නුඹගේ කමෙන්ටුව හේතු පාදක වූ බව කියන්නේ හද පිරි සතුටිනි.කොතරම් කවි , කතා ලීව ද මෙවැනි අපූරු වූත් රසවත් වූත් , මාගේ කතාව වෙනකෙකු ලියූ තරමට රසවත්ව විදීමට මඟ පෙන්වූත් නුඹගේ කමෙන්ටුව මා ලද විශාලතම ජයග්‍රහණය යැයි මට සිතේ.....

    ReplyDelete
  11. මේ කතාවත් හරිම ලස්සනයි.
    Dilini. N.

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්