දුව...

අනේ..අනේ... ගෑණු ළමයෙක් හැදෙන හැටි... බලපං දැන් වෙලාව කීයද කියලා. නැගිටපන් නැගිටපන්. පස්ස පැත්තට එළිය වැටෙනකල් නිදා ගන්නවද හැදෙන ගෑණු ළමයි. නැගිටලා ගිහින් තේ හදලා අයියටත් ගිහින් දීපන්. කාමරේක හැටි. කාමරේ අස්පස් කරලා මේ රෙදි ටික හෝදලා දාපන්. මල්ලිගෙ කිලුටු ඇඳුම් වගයකුත් තිබුණා ටවල් රැක් එකේ. ඒ දරුවට කොහෙද ඕවට වෙලාවක්. විභාගෙත් ළඟයිනෙ. මම උඹට තව සැරයක් කියන්නෙ නෑ. මොන මූසලකමක් ‍ද මේ ගෑණු ළමයෙක් වුණා ම උදේ රැයින් නැගිටලා ගේ දොර අස්පස් කරලා අතුපතු ගාලා පිලිවෙලකට ඉන්න ඕනෑ නේද? කොහෙද ඉතිං මම ම මැරෙන්න එපෑ මේ හැම දේකට ම. අද නිවාඩු දවසක් කියලවත් මේ සුමේ ඉවරයක් තියෙනවයැ. අනේ නැගිටලා අයියට තේ එක හදලා දීපං කො. පවු කොල්ලා. මම කාමරේට යනකොටත් හොඳට ම නිදි. ඊයෙ හවස යාළුවොත් එක්ක සෙල්ලම් කරලා ගෙදර එනකොටත් හොඳටම පරක්කු වෙලා. ඒ ඇවිල්ලත් රෑ දෙගොඩහරියක් වෙනකල් කොම්පියුටරේ වැඩ කළා නෙ.
මොකක්ද ඒ පාර ඔය ඇඳ ගත්ත විකාරෙ. ගෑණු ළමයෙක් වුණා ම සංවරව ඇඳුමක් අඳින්න ඕනෑ නේද? වැලහින්න වගේ කඩා හලාගෙන ඉන්නෙ නැතුව කොණ්ඩෙ පිළිවෙලකට පීරලා ගොතා ගනින්. මොකෝ උඹේ ඔය ගැස්සිල්ල. ටික දවසක ඉඳලා උඹට අමුතු ලෙඩක් හැදිලා කියලා මට පේනවා. ඊයෙත් මං බලාගෙනයි කොම්පියුටරේ දිහා බලාගෙන තනියම හිනා වෙනවා. වැඩ කරනවා කිය කියා කොම්පියුටරේ ඉස්සරහ වාඩි‍වෙලා මොනවා කරනවද කියල කවුද දන්නෙ.  පෙරේදත් යාළුවෙකුගෙ ගෙදර යනවා කියලා ගියා. මොනවද මේ රස්තිවාදු ගමන්බිමන්. උඹ නං දැන් ගාණට වැඩියි දුවේ. හදා ගනිංකො ‍ඔහොම ගිහිල්ලා මොකක් හරි කතන්දරයක් අපිටත් පාරෙ  බැහැලා යන්න බැරි වෙන්න. දැනගනින් කෙල්ලෙකුට වැරදුණොත් වැරදුණා ම තමයි. මොකෝ කොල්ලෙකුට වගේද.


ලියා එව්වේ - හංසි වීරසේකර

13 comments:

  1. හ්ම්ම්.....
    අනෙ මන්දා :)

    ReplyDelete
  2. ඇත්තටම මේ කතාව නම් දුර්වලයි.

    ReplyDelete
  3. තේමාව හොඳයි. කතාව ගලා යාම නං දුර්වලයි.. කියන්න හදන්නෙ මොකක්ද කියන එක පැහැදිලි නෑ

    ReplyDelete
  4. Puthalata sepa, Duwalata duka.......:)
    meka godak gewal wala wenawa. Mata ape nangi matak una.

    ReplyDelete
  5. කතාවක් ලියන්න ඕනවට ලිව්වා වගේ. හොඳ අදහසක්. තව හොඳට ලියන්න තිබුණා. වචන ගණන පනින්නත් තව ගොඩාක් තියෙනවනේ...

    ReplyDelete
  6. තව දෙබස් ටිකක් ඇවිල්ලා, දුව කියන දේවලුත් ටිකක් වැටිලා ආවා නං කියලා වැඩක් නැහැ.

    ReplyDelete
  7. අයියා කරන දේවල් ගැන ප්‍රසාදයකින් කතා කිරීම සමඟ එකඟ වෙන්න බෑ කියලයි මම හිතන්නේ

    ReplyDelete
  8. හොඳ හෝ නරක ඉදිරිපත් වීම අගේ කරනවා. සමහරු වගේ නොලියම ඉන්නෙ නැතිව , ලීව එක හොඳයි.

    කවුරුත් පටන් ගන්නේ ඔහොම තමයි.හැබැයි ඔයා මීට වඩා හොඳට ලියන කෙනෙක් කියල පස්සෙන් පහු ඔප්පු උනොත් , අන්න එදාට.... ඒක එදාට ... හෙහ් හෙහ්...

    ReplyDelete
  9. හොඳයි . ..
    කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ හැමෝම නිදහස අගය කරනවා කියන එකත් පවුලක සහෝදරියෝ සහෝදරයින්ගේ මෙහෙකාරියෝ නොවිය යුතුයි කියන එකත් හිතන්න බලකරන විදිහට දැනෙන්නේ ලියලා තියෙනවා.

    ReplyDelete
  10. අදහස හොඳයි. ඒත් මේක කතාවක් කරන්න ඕනෑ.. උත්සාහා කළොත් බැරි වෙන එකකුත් නෑ. මොකද ගොඩක් කතාවලට සාපේක්ෂව මේකෙ භාෂාව ඉහළ මට්ටමක තියෙනවා කියලයි මට හිතෙන්නෙ...අනිත් එක ලියලා තියෙන ශෛලියත් රසවත්.

    ReplyDelete
  11. කෙටි කතාවක්ද කියන ප්‍රශ්නෙ තියනවා. ඒත් ලියල තියන අදහස් ටික මරු... කෙටිකතා ලියන්න ඕනෙ නැහැ. දිගටම මේ වගේ ඒව ලියන්න. මරු...

    ReplyDelete
  12. මා මෙම කථා පෙල අතුරින් මුලින්ම කියැවූයේ මෙම කථාවයි. දුව... මාත් දුවක් නිසා මගේ හිත මේකට ඇදුනා විය හැකියි. දැන් මං දකින දුව නැමැති කෙටි කථාව හඳුන්වන්නම්.

    අනේ..අනේ... ගෑණු ළමයෙක් හැදෙන හැටි... බලපං දැන් වෙලාව කීයද කියලා. නැගිටපන් නැගිටපන්. පස්ස පැත්තට එළිය වැටෙනකල් නිදා ගන්නවද හැදෙන ගෑණු ළමයි.

    ඔව් ගෙවල් වල බොහොම විට ගෑණු දරුවන්ගේ හැදියාව පිළිබඳව මනා ලෙස සැලකිලිමත්. හැබැයි ඒ ගෑණු දරුවන්ගේ. පිරිමි දරුවන්ගේ එහෙම නෙමෙයි

    නැගිටලා ගිහින් තේ හදලා අයියටත් ගිහින් දීපන්. කාමරේක හැටි. කාමරේ අස්පස් කරලා මේ රෙදි ටික හෝදලා දාපන්. මල්ලිගෙ කිලුටු ඇඳුම් වගයකුත් තිබුණා ටවල් රැක් එකේ. ඒ දරුවට කොහෙද ඕවට වෙලාවක්. විභාගෙත් ළඟයිනෙ

    වෙලාවකට හිතෙනවා මේ දුවකට කියන දේවල්ද මෙහෙකාරියකට කියන දේවල්ද කියලා. එහෙත් අවාසනාවකට බොහොම ගෙවල් වල තත්ත්වය මෙයයි. ‍මෙම කථාකරු අව්‍යාජව මේ තත්ත්වය ගලා යෑමට ඉඩ හැර තිබෙන ලෙසක් හඟිමි.

    නේ නැගිටලා අයියට තේ එක හදලා දීපං කො. පවු කොල්ලා. මම කාමරේට යනකොටත් හොඳට ම නිදි. ඊයෙ හවස යාළුවොත් එක්ක සෙල්ලම් කරලා ගෙදර එනකොටත් හොඳටම පරක්කු වෙලා. ඒ ඇවිල්ලත් රෑ දෙගොඩහරියක් වෙනකල් කොම්පියුටරේ වැඩ කළා නෙ.

    අනේද කියන්නේ නේද? අයියලා කරන කොම්පියුටර් වැඩ. මෙවන් අසාධාරණ කථා සමහරවිට ඔබේ නැගනියට ඔබේ අම්මා පවසනවා අසාගෙන ඔබම නිහඬව සිටිනවාද විය හැකියි. මගේ දැක්මට අනුව කථා කරු සීමිත වදන් භාවිතා කරමින් සිය අදහස් සහ දැක්ම පාඨක හිසට ඔබමින් සිටියි.

    අවසාන ඡේදයෙන්, ඇඳිය යුතු ඇඳුම පැලඳුමේ පටන් ගමන් බිමන් දක්වාම සිය දියැණියට අවවාදාත්මකව බැණ වදින අම්මා කෙනෙකු අපට විචිත්‍ර ලෙස ඇඳ පෙන්වයි. අයියා කොම්පීටර් වැඩ කරන විට නංගි කරන්නේ වැඩ කරනවා යනුවෙන් පවසමින් වෙන වෙන දේ කිරීම බව අම්මාගේ අදහසයි.

    කෙසේ හෝ අවසාන වශයෙන්, ගත් කල කොල්ලෙකු කොහේ ගිහින් ආවාද සෝදා ගෙට ගත හැකිය කෙල්ලක එසේ නොහැකිය යන වදන පවසමින් කථාව අවසන් වෙයි.

    මෙම කථාව ගත් කල සමස්ත කථාව තුල ම ඇත්තේ එක් අයෙකුගේ දෙබස් පමණි. එය යම් දුර්වල තැනක් ලෙස හැඟුනත් එයද එක්තරා ආරක් ලෙසද අපට සිතා ගත හැකිය. දියැණියගේ හෝ දෙබස් වැටී තමන්ගේ පැත්තටද වදනක් දෙකක් කියැවුනා නම් සමබරභාවයක් කථාවට එක්වනු ඇත.

    සෘජුව සැපයෙන ආදර්ශයක් හෝ උපදේශයක් නැතැයි පැවසිය නොහැකි වන්නේ මුළු කෙටි කථාවම කැටි කරගත්විට එකම උපදේශයක් වන නිසාවෙනි. එනම් දියැණියන්ද පුතුන් සේම නිදහස් අදහස් ඇත්තෝ වෙති. ඔවුන්ටද නිවසේ මෙහෙකාර කමේ යෙදෙනවාට වඩා ජීවිතයක් ඇත.


    අගනා වූ උත්සහයක් ලෙස අර්ථ දැක්වීමට කැමැත්තෙමි.

    ReplyDelete
  13. මේ කතාවෙ තියෙන ගැඹුර තේරෙන්නෙ නැත්තම් හරිම වැරදියි. නියමයි මේකෙ යටි අරුත.

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්