ලියූ ලියැවිල්ල ඇය හිතින් කියැව්වාය.
හිතවත් ගිමන්ත,
මම මේ වගේ ලියුමක් ලියන්න කවදාවත් හිතුවේ නම් නැහැ. ඒත් අද මට ඒ ගැන දුකකුත් නැහැ. මං මේ තීරණය ගත්තේ ගොඩක්ම හිතලා බලලා. තවදුරටත් මේ කසාදේ පවත්වාගෙන යෑම අපි දෙන්නාටම වැඩක් නැහැ කියලා මට හිතිලා ගොඩක් කල්. ඒත් මට කරන්න දෙයක් තිබුනේ නැහැ. ඒත් දැන් ඉවසීමේ සීමාවේ අන්තිමටම ඇවිල්ලා.
මම අද මේ ගේ දාලා යනවා. සදහමට. මං දන්නවා ඔයාට දුක හිතෙන එකක් නැහැ. ඔයාගේ හිත ගලක්. මහා කළු ගලක්. ඔයාටම හරියන දරුවෝ දෙන්නා. මං ගැන කිසිම සැලකිල්ලක් ඔය තුන්දෙනාටම නැහැ. තාත්තාටයි පුතාලා දෙන්නාටයි දැන් සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඔයා තරම් මං උගත් නැති නිසානේ මේ සේරම. පුතාලාත් ඔයා වගේම මහා උගත්තු වෙයි. මට කමක් නැහැ. ඕනේ දෙයක් වුනාවේ. මං මගේ ජීවිතය හොයාගෙන යනවා. අදින් පස්සේ මං ගැන හොයන්න එපා. එහෙම කිව්වත් නැතත් ඔයා මං ගැන හොයන්නේ නැහැ කියලාත් මං දන්නවා. ඉතිං අද ඉඳන් මම ඔයාලාගෙන් වෙන්වෙනවා.
ඔයාටත් දරුවන්ටත් තිසරණ සරණයි.
ඔයාලාගේ සතුට පතන මම,
අංජලී
එය ටීපෝව මතින් තැබූ ඈ, පිළිවෙලකට සකසන ලද යුගල ඇඳ දෙස නෙත් යොමා, පිටවන්නට ආ සුසුම උත්සහයෙන් නවතාගෙන පුතුන්ගේ කාමරය වෙත ගියාය. ඔවුන් පාසල් ගොස්ය. සිටියද නිසංසලව පවතින කාමරය තුල බොහෝවිට කිසිවකු සිටීද හඳුනාගත නොහැකි තරමට ඔවුන්, පියාසේම නිහඬව පොත පත ඇසුරේය. සිහින් සුසුමකින් එයට සමුදුන් ඇය නිවසින් පිටවී, ත්‍රී රෝද රථයට ගොඩ වූවාය.
මගතොට ගැන නිනව්වක් ඈට නොවීය. අද පටන් ජීවිතය වෙනස් වනු ඇත. හිම මෙන් ගෙවුනු දිවිය නැවතත් ඒ උණුසුම් දෙඅතට මැදිවනු ඇත. මේ ගමන අතීතයේදී, පැතූ අයුරින්ම යා හැකි වූවා නම්..........
දුම්රිය ස්ථානයට පැමිණි ඇය නියමිත වේදිකාව වෙත පැමිණියාය. මිනිත්තු 10-15ක් ගතවිය. සිත අවිනිශ්චිත සිතුවිලි වෙත දොර හරින්නට වූයේ අනිච්ඡානුගතවය. හිඟන පිරිමි දරුවෙකු, ඇගේ අතින් අල්ලනතුරු ඔහුගේ පැමිණීම නොදැකීම ගැන ඇය පුදුම වූවාය.
“ඇයි ඇයි මොකද මේ?” ඇය නොරිස්සීමෙන් පසෙකට වූවාය.
“නෝනා...... අර මහත්තයා මේක දෙන්න කිව්වා” කියමින් ඔහු අත දිගුකරගෙන පසුපසට හැරුනත් ඒ මානයේ කිසිවකු නොවීය.
ආදරණීය අංජලී,
අපි කරන්න යන වැඩේ වැරදියි................
මුල් වැකියත් අවසන් වැකියක් කියැවූ ඇයට ක්ලාන්ත වන්නට එන සෙයක් දැනින. අසල අසුනට වැටුනු ඇය විනාඩි කිහිපයක් නිනව් නැතිව ගත කලාය. නිමේෂයෙන් බොහෝ දේවල් සිහි වන්නට විය. වහා නැගී සිටි අංජලී ලිපිය ගුලිකොට ගමන් මල්ල තුලට ඔබා, දිවගොස් ත්‍රී රෝද රියෙක නැගුනාය.
ඇය පිටව ගිය පසු, ඈත කොනකට වී සාවධානව බලා සිටි ඔහු, හිතේ රැඳුනු මහා බරින් හෙම්බත්ව, බිත්තිය දිගේ ඇදී ගොස් වැටී, දණහිස් මත හිස ගසා ගත්තේය.
ආදරණීය අංජලී,
අපි කරන්න යන වැඩේ වැරදියි. මං කියන්නේ හොඳ සිහි කල්පනාවෙන්. ඔයාගේ හස්බන්ඩ් නොසලකනවා කියලා, දරුවෝ ඔයා ගැන සැලකිල්ලක් නැහැ කියලා ඔයාට හිතෙනවා ඇති. ඒත් අංජලී ඔයායි මායි හොඳටම දන්නවා ඔයාගේ හස්බන්ඩ් ඔයාට දුන්නේ බොහොම පිරිමි, දෙන්න නොහිතන සමාවක් කියන එක. අපට ඒක අමතකවුනු එකත් බොහොම වැරදියි.
මට දැන් තේරෙන විදිහට අපි වැඩිහිටියෝ හැටියටත් දරුවෝ ඉන්න දෙමව්පියෝ හැටියටත් මේ ගත්ත තීරණේ අන්තිම අසාධාරණයි.
අපි දෙන්නා පවුල් දෙකක මුල් කණු දෙකක්. ඒ කණු ගැලවුනොත්, ඔයාගේ මහත්තයා, දරුවෝ, මගේ වයිෆ්, දරුවෝ ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද? අපි එකතු වෙලා තව දරුවෝ හැදුවොත් එයාලා ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද? අපි දෙන්නාගේ පවුල්වල සහෝදර සහෝදරියෝ....... ඒ අයගේ ජීවිත වුනත් යම් තරමකට හරි දෙදරයි.
ඒවා පැත්තක. අංජලී අපි අපේ දරුවෝ ගැන හිතන්න වෙනවා. අපි එයාලාට චපල වුනොත් සමහරවිට ඒ අය මුළු ජීවිතයම අඳුර කරගනියි. ගිමන්තයි ශාන්තියි ආයේ බැන්දොත්?
අංජලී අපි ඉවසමු. දෙමව්පියෝ එකතුවෙලා අපට මේ දුක දුන්නා. ඒ දුකම නොවුනත් දරුවන්ට ඊටත් වඩා ගැඹුරු ගින්දරක් දෙන්නයි අපි හැදුවේ. අපි මේ වැරැද්ද නොකර හිටියොත් සමහරවිට අපේ දෛවය අපට ලබන ආත්මේ හරි එකතු වෙන්න ඉඩක් සලසයි. හැබැයි අපි මෙහෙම කලොත් සදාකාලිකව ගෙවා ගන්න බැරි පවක් වෙයි.
ආයේ මේ ආත්මයේදී මාව හීනෙන්වත් දකින්න එපා අංජලී.
මෙයට හිතවත් ජනක
ගලන කඳුලේ මූලය දුකද, කේන්තියද, පසුතැවිල්ලද, වෙන යමක්ද යන්න ගැන ඇයට නිනව් නොවීය.
ලියා එව්වේ - රන්දිකා රණවීර
http://ranrandil.blogspot.com/
සුපිරි !!!!!! මුල මැද අග මම ආසම විදියෙන් ,,... ජය !
ReplyDeleteඅගෙයි.මම මේකට කැමතියි.අනිත් කතාවලට වඩා වෙනස් ආකෘතියක්.පොඩි නාට්‍යමය ගතියකුත් තියෙනවා.
ReplyDeleteඇත්තෙන්ම නිර්මාණාත්මකයි...
ReplyDeleteවෙනස්ම විදියේ ආකෘතියක්. ආකෘතියටත් අදහසටත් ලයික් යැ!
ReplyDeleteකතාව ලියන්න යොදා ගෙන තියෙන තාක්ෂණික ක්‍රම අගය කළ යුතුය
ReplyDeletepudumakara sanyamayakin wachana pela gaswa thibenawa. Ada ratata onema karana adahasak gamya wana widihata liyala thiyena me katawata mama ithamath kemathi.
ReplyDeleteඉතා අපූරුයි...
ReplyDeleteමේකට තරු ** යි .අභුත ලඟට මගේ සිත් ගත් දෙවන කතාව.
ReplyDeleteමේ කථාවටත් මං කැමතියි.
ReplyDeleteදෙයියනේ, මේ මගේ කථාවනේ, ඇත්තටම මේ මං දන්න කෙනෙක්ද මේක ලිව්වේ, උඹ ඔය මගුල අතහැරපං කියලා මූණට කියන්න බැරි කෙනෙක්ද මේ........ හරි මචං උඹ කවුරු වුනත් මට දුන්නේ හොඳ ඉහ මොළ පෑදෙන කම්මුල් පාරක්......
ReplyDeleteමම ඇනෝ මෙය ලියන ලද කෙනා වෙමි. ඇත්තටම ඔබ පවසන දේ සත්‍යයක් නම් එය මට සතුටකි. එහෙත් මම දන්නා කිසිවෙකු ට මෙවන් සිද්ධියක් සිදු වූ බවක් මට මතක නැත. ඔබ සත්‍යයම පැවසුවා නම් ස්තුතියි.
ReplyDeleteකෙටි ඒකාංගික නාට්‍යයකට නම් මරු! ලියපු කෙනාගෙන් ඉල්ලව ස්ක්‍රිප්ට් එකක් ලියන්න බලන්න..
ReplyDelete:-)
එළ නියමයි ........:D
ReplyDeleteඇත්තෙන්ම හොඳම කතාවක්..
ReplyDeleteමැක්ස්
ReplyDeleteහිතක් වෙනස් වෙන්ට මහ වෙලාවක් යන්නෙ නැහැ නෙව......මොකදෑ කොරන්නේ......දුක තමයි අංජලී...........
ReplyDeleteඑහෙම කිව්වට ඇත්තටම දුකයි......සාර්ථක නිර්මාණයක්......
චපලත්වයත් ප්‍රේමයත්, එකිනෙකා වැළඳ, එකම ගින්නේ දැවෙන අයුරු දිලිසෙන දෙනෙතින් බලා සිටියාය.
ReplyDeleteMax :-)
නියමයි... මම කැමතිම හොඳම කතා තුනට මේකත් අයිතියි... !
ReplyDeleteමගේ තේරීම අනුවත් මුල් තුන ඇතුලට අයත්
ReplyDeleteමෙම කෙටි කථාවද තරඟය තුල පවතින කථා අතුරින් මුල් පෙලේ පවතින කථා අතරට පැමිණෙන්නක් බව කිව හැකිව තිබේ.
ReplyDeleteමෙය බොහෝ තැන් වලදී සිදුවන දෙයක් අරඹයා වෙනස් පැත්තකට සිතා ලියූ කථාවක් බව හඟිමි. සාමාන්යවයෙන් සිදු වන්නේ ජනක හා අංජලි පැන යාමය. දෙපස දරුවෝ අසරණ වීමය. ඔවුන් දෙදෙනාගේ සහකරුවන් අසරණ වීම හෝ වෙනත් සම්බන්ධතා හා බැඳිමය. ඒ නිසාම මෙම කථාව වටිනා ලෙස වෙනස් ආරක් ගෙන ඇත.
ලියුම් දෙකක කථාවක්, මාතෘකාව දුටු විට මෙපමණ අර්ථසම්පන්න කථාවක් ඇති බවක් නොසිතුවෙමි. ඇත්තටම ලියුම් දෙකක කථාවක් ම තමයි. ලියුම් දෙක පමණක් භාවිතා කොට කථාවේ අන්තර්ගතයේ, 80%ක් පමණ ප්රමකාශ කිරීමට ලියුම්කරු දක්වා ඇති ප්රෝතිභාව අගේ කටයුතුය
ලියුම් දෙක තුල මා දකින කාරණා ගෙන හැර පෑමට සතුටුය.
ඔයාටම හරියන දරුවෝ දෙන්නා. මං ගැන කිසිම සැලකිල්ලක් ඔය තුන්දෙනාටම නැහැ. තාත්තාටයි පුතාලා දෙන්නාටයි දැන් සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඔයා තරම් මං උගත් නැති නිසානේ මේ සේරම. පුතාලාත් ඔයා වගේම මහා උගත්තු වෙයි. මට කමක් නැහැ.
මෙහිදි කථාකරු පවුල දෙකඩ වී ඇති අයුරු විදහා දක්වයි. එය සාර්ථකය. කථානායිකා තොමෝ වඩා උගත් නොවූ, වහා ඉක්මන් තීරණ වලට එල්ඹෙන තැනැත්තියක් බවද, ඇගේ සැමියා උගත් සේම ඔවුන්ගේ දරුවෝද ඔහුගේ අඩිපාරේ යන අය බවද ලියුම්කරු අපට පවසන අතර මේ වෙනස පවුල දෙකඩ වීමට කථානායිකාව හේතුවක් කොටගෙන ඇති බවද පෙන්නුම් කරයි.
කථානායිකාවගේ ලියුම තුලින් හඳුන්වන සැමියා හා දරුවන් පිළිබඳ චිත්රයය වර්ණ ගැන්වීමට ලිපියට පසු එන ඡේදය මනා පිටුවහලක් වී ඇත.
........ පුතුන්ගේ කාමරය වෙත ගියාය. ඔවුන් පාසල් ගොස්ය. සිටියද නිසංසලව පවතින කාමරය තුල බොහෝවිට කිසිවකු සිටීද හඳුනාගත නොහැකි තරමට ඔවුන්, පියාසේම නිහඬව පොත පත ඇසුරේය.
ඔව්.. දැන් අපට පැහැදිලිය... ඇගේ සැමියා නිහඬ පුද්ගලයෙකි. පුතුන්ද ඔහු අඩිපාරේ ගමන්ගන්නා ලකුණුය. ලිපියෙන් කියා නොකියා සිටිනා දේ මෙම ඡේදයෙන් තහවුරු කෙරී ඇත.
එය තවත් තහවුරු කරමින් ඊගාව ඡේදයේදී,
හිම මෙන් ගෙවුනු දිවිය නැවතත් ඒ උණුසුම් දෙඅතට මැදිවනු ඇත. මේ ගමන අතීතයේදී, පැතූ අයුරින්ම යා හැකි වූවා නම්..........
සිදුවන්නට යන දෙය පාඨකයා දැන් හඳුනා ගනියි. එලෙසම මේ අද ඊයේ සම්බන්ධයක් නොව විවාහයට පෙර සම්බන්ධයක් බවද එක් පෙළකින් පෙලගස්වා ඇති අපූරුව........
ඇය පිටව ගිය පසු, ඈත කොනකට වී සාවධානව බලා සිටි ඔහු, හිතේ රැඳුනු මහා බරින් හෙම්බත්ව, බිත්තිය දිගේ ඇදී ගොස් වැටී, දණහිස් මත හිස ගසා ගත්තේය.
සැබවින්ම මා දකින ආකාරයට මෙම ලියැවිල්ලේ අනුවේදනීයම කොටස මෙයයි.ප්රේ,මවන්තයින් ලෙසින් සැලකූ කල ඔවුන් බරපතල අසාධාරණයකට ලක්වී ඇත. අනෙක් අතට ලියුම්කරු ජනක යනු වංචාකාරයෙකු නොවන වග පාඨකයාට හඟවන්නේ මේ පේලී දෙක භාවිතයෙනි.
මී ලඟට මම යොමු වන්නේ ජනකගේ ලිපිය වෙතයි
ReplyDeleteඒත් අංජලී ඔයායි මායි හොඳටම දන්නවා ඔයාගේ හස්බන්ඩ් ඔයාට දුන්නේ බොහොම පිරිමි, දෙන්න නොහිතන සමාවක් කියන එක. අපට ඒක අමතකවුනු එකත් බොහොම වැරදියි.
විවාහයට පෙර දුරදිග ගිය සම්බන්ධයේදී සිදු වූ දෙය බරපතල ලෙස නොගෙන සිය බිරිඳ කෙරෙහි නොබිඳී සිටිය සැමියෙකු ගැන ලියු ලියැවිල්ලක් මෙතරම් කෙටිව දුටු පළමු අවස්ථාව මෙය බව කිව යුතුය.
අපි දෙන්නා පවුල් දෙකක මුල් කණු දෙකක්. ඒ කණු ගැලවුනොත්, ඔයාගේ මහත්තයා, දරුවෝ, මගේ වයිෆ්, දරුවෝ ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද? අපි එකතු වෙලා තව දරුවෝ හැදුවොත් එයාලා ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද? අපි දෙන්නාගේ පවුල්වල සහෝදර සහෝදරියෝ....... ඒ අයගේ ජීවිත වුනත් යම් තරමකට හරි දෙදරයි.
ඒවා පැත්තක. අංජලී අපි අපේ දරුවෝ ගැන හිතන්න වෙනවා. අපි එයාලාට චපල වුනොත් සමහරවිට ඒ අය මුළු ජීවිතයම අඳුර කරගනියි. ගිමන්තයි ශාන්තියි ආයේ බැන්දොත්?
මේ වගේ වැදගත් සත්යඅයක් සෘජුව පාඨක මනසට ඔබ්බන වෙනත් කථාවක් තරඟය තුල නැති බව මගේ හැඟීමයි. මෙවන් ලිපි වෙබ් අවකාශයේ සීමිත පිරිසක් අතර නොවෙයි, පුවත්පත් වල පළ විය යුතුය. ඉහතින් කෙනෙකු පැවසුවාසේ ඒකාංගික නාට්යව බවට පත්විය යුතුය. කෙටි කථා ගැන විවිධ පිරිස් විවිධ අර්ථ දෙති. එහෙත් මගේ සිතුවිල්ල අනුව මෙවන් සමාජ පණිවුඩයක් සෘජුව දෙන කෙටි කථා යනු කාලීන අවශ්යාතාය.
මෙවන් ලිපි වලට ඇනෝනිමස් කොමෙන්ටු නොදමා තම නමින් කොමෙන්ට් කරනවා නම් එය වඩා අර්ථ සම්පන්න වනු ඇතැයි සිතමි. එය ලියන්නා තව තවත් ධෛර්යයමත් කරනු ඇත.
නැවතූ සැනින් රියෙන් පැනගත් ඇය වහ වහා ඉහළ මහලට දිව ගියාය. ලිපි දෙකම එකම ගුලියක් කොටගෙන මුළුතැන්ගෙට ගිය ඈ, චපලත්වයත් ප්රේපමයත්, එකිනෙකා වැළඳ, එකම ගින්නේ දැවෙන අයුරු දිලිසෙන දෙනෙතින් බලා සිටියාය.
මෙහි චපලත්වයත් ප්රේ්මයත් යන්න තද කළු අකුරින් දක්වා ලියුම්කරු මා සිතන දේම පවසා ඇතැයි සිතේ. එනම් මෙම ලිපි දෙක වෙන වෙනම ගත් කල එක් ලිපියක් චපලත්වය ප්රරකට කරන විට අනෙක මානුෂීය ප්රේපමය දිස් කරවයි. එලෙසම පෙර ලිපිය ප්රේූමය සොයා යෑමේ අභිප්රායය පෙන්නුම් කරන විට අනෙක සිය ප්රේඅමවන්තියට චපල වූ ප්රේසමවන්තයෙක් පෙන්නුම් කරයි.
මෙයට අමතරව ලිපි දෙක හුවා දැක්වීමට යොදා ඇති ක්රබමයද පාඨකයාට පහසුවක් ඇති කර තිබේ. එය වෙන්කොට දක්වා ඇති ක්රටමය මගේ සිත් ගති.
මෙම කෙටි කථාව මගේ දැක්මේ හැටියට ප්ර්ශස්ත මට්ටමින් පවතී. මගේ පුද්ගලික කැමැත්ත දෙබස් මගින් යන කථා කියැවීමට වුවත් මෙහි ලිපි නිසා ඒ අඩුව මැකී ගොසින් යැයි සිතේ.
Excellent!!
ReplyDelete""ලිපි දෙකම එකම ගුලියක් කොටගෙන මුළුතැන්ගෙට ගිය ඈ, චපලත්වයත් ප්‍රේමයත්, එකිනෙකා වැළඳ, එකම ගින්නේ දැවෙන අයුරු දිලිසෙන දෙනෙතින් බලා සිටියාය.""
ReplyDeleteමේකත් සිරා.
ස්තුතියි සඳුන් දර්ශනි, වෙන යමක් නොකියමි. මෙතෙක් අඥාතව සිටින මම හෙට දිනයේ මගේ නමින්ම ඔබට ස්තුති කරමි.
ReplyDeleteමෙන්න කතා. කතාවක් නොකියා කතාවක් කියලා. දැං මගෙ ඔලුව කැරකෙනවා මොකේටද චන්දෙ දෙන්නෙ කියලා.
ReplyDeleteexcellent
ReplyDeleteexcellent
ReplyDelete